යුතුකම ඉටු කර සමාජ යථාර්තයට අනුගත වීම.
ඉන්දියානු ටෙලිනාට්‍ය හඬකවා පෙන්වීම නිරතුරුව සිදුවන කාලයක වෙතත් නව නිර්මාණ සඳහා අවස්ථාව ලබා දීම ඉතා අගය කල යුත්තකි.මේ අතුරින් අම්මා , ස්වර්ණපාලී,අග්නි,ගිණි අවි සහ ගිණි කෙළි “දෙරණ” ඉදිරිපත් කල අවිවාදයෙන්ම විශිෂ්ඨ නිර්මාණ කිහිපයකි.සිදූ ටෙලි නාට්‍යද මේ වන විට විශාල පිරිසකගේ ආ දරයටද,සමහරකුගේ විවේචනයටද ලක්වූ නිර්මාණයකි.ටෙලි නාට්‍යය විචාරය මා නොදත්තද මේ ටෙලිනාට්‍යය විකාශය වන අතර ඉස්මතුවූ බාහිර දෙයක් විමසුවෙමි.
සෝරත හාමුදුරුවෝ ලෙස දක්ෂ රංගනයක යෙදෙන මේ දරුවා හැබෑම දක්ෂයෙකි.වයස අවුරුදු 6ක් වන කුඩා දරුවකුගෙන් අපේක්ෂා කල නොහැකි හපනෙකි.එවන්වූ දරුවකුගේ හැකියාවන් අගය කර ඔහුව දිරිමත් කිරීමට වැඩිම බෞද්ධ ජනගහනයක් ඉන්නා රටක අප අසමත් වී ඇත.රාජ්‍ය බලධරයන් හෝ රාජ්‍ය නොවන බෞද්ධ සංවිධාන හෝ කිසියම් හෝ කෙනෙකු යම් දෙයක් කලාද යන්න සැකයකි.හංවැල්ල නගරයේ සිට පනාගොඩ පැරකුම් විද්‍යාලයට පාසැල් ගිය මේ දරුවාගේ වටිනාකම තේරුම් ගන්නට වාසනාවට කිතුණු පාසලක් සමත්වී ඇත.ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ සිසුන් ලංකාවේ කොයි කෙලවරේ හිටියත් තමන්ගේ පාසලට ඇතුලත් කරගන්නා සමහර බෞද්ධ පාසල්වලටවත් මේ දරුවා නොපෙනීම තරමක් ලැජ්ජා වියයුතු කාරණයකි.කෙසේ වෙතත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලටවත් ඇතුලත් වීමට ලැබීම ගැන මේ දරුවත්,දෙමව්පියන් සහ සැවොම සතුටු විය යුතුය.
ටෙලි නාට්‍යයේ ජීවිතයත්,ඇත්ත පරිසරයත් දෙකක් බව පිළිගත යුතුය.දරුවන් ගමෙන් නගරයට අධ්‍යාපනය සඳහා යාම ටෙලි නාට්‍යය තුල ප්‍රතික්ෂේප කරයි.එහෙත් යථාර්තය එහි විලෝමයයි.දුෂ්කර ග්‍රාමීය පාසල් දිනෙන් දින වැසී යමින් පවතියි.ග්‍රාමීය පාසැල් වැටි ඇති ප්රපාතය එයින්ම පැහැදිලිවේ.අඩුම තරමේ මේ දරුවාගේ පාසැල වත් ආදර්ශ පාසලක් සේ දියුණු කළා නම්,(එය අධ්‍යක්ෂකට හෝ නිෂ්පාදකට තනිව කල නොහැකිය) සිදු ටෙලිනාට්‍ය තරමක් හෝ යථාර්ථවාදීයැයි සිතන්නට තිබුණි.එම පාසලේ අනෙක් දරුවන්ටද යහපත් කලදසාවක් ටෙලියේ පිහිටෙන් හෝ ලබන්නට තිබුණි.එසේ නොකර තවත් විකල්පයක් අප මගහැර තිබේ.මේ දරුවා කීර්තිමත් බෞද්ධ පාසලකට ඇතුලත් කළා නම් ඔහුට සහෝදර සිසුන් අතර තමන් වීරයකු සේ හැඟෙන්නට ඉඩ තිබුණි.එහෙත් ඒ කිසිවක් අවාසනාවකට සිදු නොවිණි.ඔහුට සිදුව ඇත්තේ කතෝලික පරිසරයක ඉගෙනුම ලබන්නටය.දුෂ්කර පාසලක අඩු පහසුකම් යටතේ ගැහැට විඳිනවාට වඩා කතෝලික පාසල වුවද ඔහුට උපකාරී වනු ඇත. නමුත් ගැටලුව ඇත්තේ, ඔහුට තමා යමක් බෞද්ධ සමාජයට ඉටු කිරීමෙන් කුමක් ලබා ගත්තේද යන්න කවදාහෝ දවසක හිතුනොත්ය.
Comments