ඔබ නසන්නේ ඔබගේ වෘත්තියේ සුසුම්නාවයි
වෛද්‍ය මාෆියාව උපරිම මට්ටමට පැමිණ ඇත.නියපොත්තෙන් කපන්න තිබුණු දෙය දැන් පොරවෙන් වත් කපන්නට බැරිය.ශ්‍රේෂ්ඨ වෛද්‍ය වෘත්තිය අවමන් ලබන කාලය ඉතාම නුදුරිණි
අවමන් ලැබීම රටට අහිතකර වන්නේ අද හෙට යැයි සිතුවොත් එය අප වරදවා වටහා ගැනීමකි. කෙලෙසුණු අභිමානය සහ ගෞරවය යළි ලබා ගැනීම සමහරවිට සිහිනයක් පමණක් විය හැකිය .
බොරලැස්ගමුව මහරගම පාරේ නිවෙසක පසුගිය 29 වැනිදා පිරිත් පින්කමක් පැවැත්වෙමින් තිබුණේ දින තුනකට පෙර 83 වැනි වියට එළැඹි මෑණියන්ට ආශිර්වාද පැතීමටයි. ඊට එම මෑණියන්ගේ දුවා දරුවන් මෙන්ම මුනුපුරු මිනිපිරියන්ද ඇතුළු බොහෝ නෑසියෝ එක්ව සිටියහ.
සතුට උතුරා ගලා යන මොහොතක් වූ එම අවස්ථාවේ සිය මෑණියන්ට සෙත් පැතීමට පොලිස් පරීක්ෂකවරයකු වූ අජන්ත ගාමිණි මහතා ද එක්වූයේ තම බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ එදින රාත්‍රී 8.30ට පමණය. මෑණියන්ට සෙත් පතා ඥාති හිතෛෂීන් සමඟ සතුටු සාමිචීයේ යෙදුණු ගාමිණි මෑණියන් අතින් උපන්දින කේක් කෑල්ලක් කන අතරේ කීවේ,
“අම්මේ අපි රෑම යනවා. මට හෙට උදෙන්ම කුරුණෑගල මඟුල් ගෙදරක යන්න තියෙනවා.” කියාය.
එදා එලෙස මෑණියන්ගෙන් මෙන්ම සියලු නෑසියන්ගෙන් සමුගෙන ගාමිණි, බිරිය සහ දරුවන් සමඟ CAZ-4655 දරන රථයෙන් තිඹිරිගස්යායේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පිහිටි සිය නිවස්නය වෙතට යෑමට සැරැසුණේ මධ්‍යම රාත්‍රීය ළඟාවෙද්දීය.
ඒ අතරේ ගල්කිස්සෙ රාත්‍රී සමාජ ශාලාවක කා-බී නටමින් ගයමින් විනෝද වෙමින් සිහි විකල්ලෙන් සිටි තැනැත්තියක්ද පිළියන්දල පිහිටි නිවෙස බලා යෑමට සැරැසෙමින් සිටියාය. රාත්‍රී සමාජ ශාලා වැනි ඉසව්වකදී කලාතුරකින් දැකිය හැකි ඇය විශේෂඥ වෛද්‍යවරියක වූ 39 හැවිරිදි තිලානි කාවින්ගාය. මත් ගතියෙන් සිහි විකල්ලෙන් සිටි කාවින්ගා නිවෙස බලා යෑමට සැරැසුණේ ඇය සමඟ සමාජ ශාලාවට ගිය ඇන්ජලෝ මෙන්ම සමාජ ශාලාවේදී හමුවූ ගායන වාදන ශිල්පීන් දෙදෙනෙක් වූ ඔස්ටින් සහ ප්‍රනාන්දු සමඟින් CAT–8182 දරන රථයෙනි.
නෑසියන්ගෙන් නික්ම යෑමට සමුගත් ගාමිණි, තමා මෙලෙස සමුගන්නෙ ජීවිතයේ අවසන් ඉරණම් ගමන යෑමටයැයි සිහිනෙකින්වත් සිතන්නට නැත. එහෙත් ඊට මද වේලාවකට පසුව ඛේදනීය ඉරණමකට මුහුණ දෙමින් ගාමිණිට මෙලොව හැර යෑමට සිදු වූයේ නෑසියන් පමණක් නොව මුළුමහත් රටවැසියන්ටම අසන්ට වූ ශෝචනීය පුවතකට මාතෘකා වෙමිනි. ඒ ගල්කිස්සේ රාත්‍රී සමාජ ශාලාවෙන් පිටවූ බේබදු වෛද්‍යවරිය බීමතින් කළ රිය ධාවනයෙන් සිදුකළ රිය අනතුරට ලක් වී ජීවිතයෙන් වන්දි ගෙවමිනි.
ගාමිණි එලෙස ජීවිතයෙන් වන්දි ගෙවද්දී පුවත්පත මුද්‍රණයට යන විටත් රථය පැදවූ ඔහුගේ වැඩිමහල් පුත් 21 හැවිරිදි අනුජ පාදය හතරට බිඳී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී. බිරිය චම්පිකා ජාතික රෝහලේද 8 හැවිරිදි නෙතුක පුතු ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ බරපතළ තත්ත්වයෙනි.
අනුජ මංජිත පුතු පැදවූ රථයේ ගාමිණිගේ බිරිය මධුරි චම්පිකා සහ නෙතුක පුතණුවන් ගමන් ගත්තේ පසුපස අසුන්වලය. ගාමිණි පැමිණියේ ඉදිරිපස අසුනේ ය. රථය හොරණ කොළඹ මාර්ගයේ, පැපිලියාන හමුදා කඳවුරට යනෙන වික්‍රමරත්න මාර්ගය අසලට ළඟා වෙමින් තිබිණි. වේලාව හරියටම පාන්දර 12.45 ට පමණ විණි. ඒ මොහොතේ කොහුවල දෙසින් පැමිණි වෛද්‍යවරිය පැදවූ රථය එම දිශාවෙන්ම පැමිණි ලොරි රථයක් පරයා යෑමට තැත් කළේ විදුලි වේගයෙනි. වික්‍රමරත්න මාර්ගය අසල පිහිටි හොරණ කොළඹ මාර්ගයේ බෑවුම් සහිත වංගුවද නොතකමින් ක්ෂණයෙන් ලොරි රථය ඉස්සර කළ වෛද්‍යවරියට රථය පාලනය කරගත නොහැකි විය. ඇයගේ රථය මාර්ගයේ නිසි පරිදි ධාවනය වෙමින් තිබූ ගාමිණිලාගේ රථයේ මුහුණට මුහුණ ගැටුණේය.
එහෙත් සිහි විකල්ව සිටි වෛද්‍යවරිය රථය ගැටී මඳ වේලාවක් යනතුරුත් වූයේ කුමක්දැයි නොදැන සිටි බව පවසා තිබුණේ පරීක්ෂණ සිදුකරන බොරලැස්ගමුව පොලිස් නිලධාරියෙකුටය. පොලිසිය පවසන පරිදි ඇය හිඳ තිබුණේ කෙළින් කටින් සිටිය නොහැකි තරමේ වෙරිමතිනි.
එහිදී බරපතළ තුවාල ලැබූ පුතුන් දෙදෙනා සහ බිරිය ඇතුළු සියලු දෙනා රෝහල්ගත කිරීමටද සහාය වූ ගාමිණි එක්වරම පාන්දර 2.20ට පමණ ජීවිතයෙන් සමුගෙන තිබුණේ ශරීර අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන් පෙනහළුවලට රුධිරය වහනය වීම නිසා බවට වෛද්‍ය වාර්තා සඳහන් කර තිබිණි. අනතුර වූ මොහොතේද ගාමිණිට සිහිපත් වී තිබුණේ මෑණියන් වෙනුවෙන් සිදුකරමින් තිබූ පින්කම ගැනය. 'අම්මා වෙනුවෙන් සිදුකරන දානේ උදේට තියෙන්නෙ. මේ ගැන ඒ අයට කියන්න එපා. එහෙම වුණොත් ඒ වැඩ කටයුතු අවුල් වේවි' යැයි ගාමිණි අසල සිටි අයට පවසා තිබිණි.
ගාමිණිගේ එම අවසන් සිතුවිලි මුමුණමින් ඔහුගේ මෑණියන් බොරලැස්ගමුවේ එගොඩවත්තේ තිබූ ගාමිණිගේ දේහය අසල හඬා වැලපුණේ ඊට එක්වූවන්ගේ නෙතඟට කඳුළක් නංවමිනි.
පසුගිය තුන්වැනිදා මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී අවසන් ගමන් ගිය ගාමිණිට එවන් ඉරණමක් අත්වූ බව ඔහුගේ කුරුලු කැදැල්ලේ කිසිවෙක් නොදැන සිටියේ ඔවුන් පසුවූ බරපතළ තත්ත්වය නිසායි. බේබදු වෛද්‍යවරිය බොරලැස්ගමුව පොලීසිය විසින් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය මේ මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. එහෙත් ඇයද සිදුවූ සුළු තුවාල හේතුවෙන් මේ වන විට බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සුළු තුවාල ලැබූ ඇයගේ අභිප්‍රාය 9 වැනිදා දක්වා බන්ධනාගාර ගත නොවී රෝහලට වී සිටීමද යන්න සැකයක් මේ වන විට මතුවෙමින් තිබේ.
බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් සිදුකළ ඇල්කොහොල් පරීක්ෂණයේදී අනතුර සිදුවන අවස්ථාවේ වෛද්‍ය කාවින්ගා මත්පැන් පානය කළ බවට නිශ්චිත ලෙසම තහවුරු වී තිබිණි. එහෙත් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ඇයගේ ඇඳ ඉහපත් වාර්තාවේ ඇය ළඟින් මත් පැන් ගඳ වහනය නොවන බවට වූ සටහනක් ඇත.
ඇය මත්පැන් පානය නොකළ බවට අසත්‍ය වාර්තා පතුරවන්නෙ මාධ්‍ය විසින්ද නැතහොත් වෙනත් බලවේගයක්ද යන්න පොලීසියටද ප්‍රශ්නාර්ථයකි. එම නිසා කිසියම් බලවේගයක් සත්‍ය වසන් කිරීමට ක්‍රියාත්මක වේනම් වෛද්‍යවරියක විසින්ම සිදුකළ මේ නොහොබිනා ක්රියාවේ සත්‍ය හෙළි කරමින් වෛද්‍ය වෘත්තියේ ගරුත්වයද ආරක්ෂා කිරීම වෛද්‍යවරුන්ගේ යුතුකමයි.
“ඇය හොඳටම බීලා හිටියේ... කෙළින් ඉන්නවත් බෑ... ” ඒ අනතුරු පිළිබඳ අත්දැකීම් බහුල බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙක් කී කතාවය.
පොලිස් දෙපාර්තමේන්තුවේ කා අතරත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි 51 හැවිරිදි ගාමිණි බොක්සිං පුහුණු උපදේශකයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට විශිෂ්ට සේවයක් ලබා දුන් අයෙකි. ඊට අමතරව අන්තර්ජාතික බොක්සිං විනිසුරුවරයෙක් ලෙසද කටයුතු කරමින් රටටද කීර්තියක් අත්කර දුන් ගාමිණිට අවසන් ගෞරව දැක්වීමට පොලිස්පතිතුමා ඇතුළු වත්මන් සහ හිටපු උසස් පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රභූවරුන් රැසක්ම වැල නොකැඩි පැමිණියේ ඔහු කළ නිහඬ සේවයේ අගය දත් හෙයිනි.
පිළියන්දල විද්‍යාල මාවතේ පදිංචිකාරියක වන වෛද්‍යවරිය රත්නපුර රෝහලේ සේවය කරන්නියකි. කෙතරම් උසස් වෘත්තියක නියැළුණ ද සමාජයට පිළිලයක්ව කටයුතු කරන්නේනම් ඉන් අගතියට පත්වන්නේ මුළුමහත් සමාජයමයි. එම නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියටත් රට තුළ සිදු නොවීමට වග බලා ගැනීමට අවැසි විධිවිධාන තර කිරීම බලධාරින්ගේ වගකීමයි.
උපුටා ගැනීම සිළුමිණ 2018/10/06
Comments