අධික රාග සිත සම්බුදු කරුණාවෙන් දමනය කර නිවන් දුටු කුල්ල මහ රහතන් වහන්සේ
“කුල්ලො සීවථිකං...” යනුවෙන් ආරම්භ වන්නේ උතුම් රහත් ඵලයට පත් වූ ආයුෂ්මත් කුල්ල තෙරුන් වහන්සේ විසින් ස්වකීය නිර්වාණ විමුක්තිය ප්‍රකාශ කරමින් වදාරන ලද උදාන ගාථාවන්ය.
මේ පින්වත් කුල්ල තෙරණුවෝ පෙර ලොව පහළ වූ සම්මා සම්බුදුවරුන් හමුවෙහි නිවන් පතා කරන ලද ප්‍රාර්ථනා ඇත්තෝ වූහ. සසර පුරාවට ඒ ඒ ආත්මභාවයන්හිදී අප්‍රමාණ පින්දහම් රැස්කරමින් අවුත්, මේ භද්‍ර කල්පයෙහි අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි සැවැත් නුවර මහා ධනවත් කෙළෙඹි (සිටු) කුලයක උපත ලැබූහ.
වැඩිවියට පත් කුල්ල කුමාරයා, දිනක් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය සංවේගයට පත්, හෙතෙම සකලවිධ ගිහි සැප සම්පත් අතහැර බුද්ධ ශාසනයෙහි මහණ විය.
පැවිදි වූ දින සිට කුල්ල තෙරණුවන්ට මහණදම් පිරීමට බාධාවක් මතු විය. උන්වහන්සේ ස්වභාවයෙන්ම තියුණු රාගාධික (රාග චරිතයක් ඇති) කෙනෙකු වූ බැවින්, උන්වහන්සේගේ සිත නිරන්තරයෙන්ම කාම කෙලෙසුන්ගේ වසඟයට පත්ව පීඩා වින්දේය.
කුල්ල තෙරණුවන්ගේ සිතේ පවත්නා මේ නොසන්සුන් හැසිරීම සහ පෙර පින් මහිමය තමන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් දැක වදාළ සකල ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ, කුල්ල තෙරුන් කැඳවා රාගය නැසීමට ඇති එකම ඖෂධය වූ ‘අසුභ කර්මස්ථානය’ (පිළිකුල් භාවනාව) ලබා දෙමින් මෙසේ නියම කළ සේක,
“කුල්ලය! තොප නිරන්තරයෙන්ම මිනී දමන මහා සොහොන් බිමට (සීවථිකාවට) ගොස්, එහි හැසිරෙමින් භාවනා කළ යුතුයි.”
බුදුරදුන්ගේ නියමයෙන් සොහොන් බිමට වැඩම කළ කුල්ල තෙරණුවෝ, එහි දමා තිබූ මළසිරුරු, ඉදිමුණු මළසිරුරු (උද්ධුමාතක) ආදී ඒ ඒ අසුභ වස්තූන් දැක, මඳ වේලාවක් ශරීරයේ පිළිකුල් බව සිහිපත් කරති. නමුදු තියුණු කෙලෙස් බහුල බැවින්, සොහොන් බිමෙන් නික්මී විහාරයට වැඩම කරනවාත් සමඟම, බාහිර රූප දැකීමෙන් නැවතත් උන්වහන්සේගේ සිත දැඩි වූ කාමරාගයෙන් වෙළී යයි.
භාග්‍යවතුන් වහන්සේ නැවතත් තම කුල්ල තෙරුන්ගේ සිතේ පවත්නා මේ දුර්වලතාවය දිවැසින් දැක වදාරා, එයට පිලියම් ලෙස කුල්ල තෙරුන් සොහොන් බිමෙහි භාවනා කරමින් සිටි එක්තරා අවස්ථාවක ඍද්ධි ප්‍රාතිහාර්යයක් සිදු කළ සේක. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සෘද්ධි බලයෙන්, අතිශය රූමත් තරුණියකගේ සිරුරක්, දැන් මියගියාක් මෙන් පිරිපුන් අඟපසඟින් යුක්තව සොහොනෙහි මවා පෙන්වූ සේක.
ඒ මවා පෑ මනහර රූපය දුටු සැණින්, ජීවතුන් අතර සිටින රූමත් කාන්තාවක දුටුවාක් මෙන්, කුල්ල තෙරුන්ගේ සිත වහාම දැඩි රාගයෙන් මුසපත් විය. උන්වහන්සේ ඒ රූපය දෙස ඇලුණු සිතින් බලා සිටියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, කුල්ල තෙරුන් ඒ රූපය දෙස බලා සිටියදීම, තත්පර කිහිපයක් ඇතුළත ඒ මනහර රූපය කුණුවී, නරක් වී, ශරීරයේ ඇති නව දොරින් (ඇස්, කන්, නාස් ආදී ද්වාරයන්ගෙන්) අශුචි, සැරව, ලේ වැගිරෙන, පණුවන් පිරී ඉතිරී යන අතිශය පිළිකුල් සහගත, භයානක, දුගඳ හමන ස්වරූපයක් බවට පත් කර මවා පෙන්වූ සේක.
එය දුටු සැණින් කුල්ල තෙරුන්ගේ සිත මහත් සේ සසල විය! මීට මොහොතකට පෙර තමන් අලංකාර යැයි සිතූ රූපයේ ඇති සැබෑ බියකරු බව දැක, උන්වහන්සේගේ සිත ඒ කෙරෙහි සහමුලින්ම නොඇලෙන, අප්‍රිය කරන ස්වභාවයට පත් විය. තෙරුන්ගේ සිත ධර්මාවබෝධයට සූදානම් බව නුවණැසින් දත් බුදුරජාණන් වහන්සේ, එකෙණෙහිම මහා බුද්ධ ආලෝකයක් පතුරුවා ලමින්, කුල්ල තෙරුන් ඉදිරියෙහි ජීවමානව පෙනී සිටිමින්, උන්වහන්සේට සංවේගය සහ සිහිය උපදවනු පිණිස මේ ගාථා වදාළ සේක.
"කුල්ලය, නිරන්තරයෙන් රෝගාදී දුකින් පීඩිත වූ, අතිශය අපවිත්‍ර වූ, කුණු වූ, උඩින් සහ යටින් නව දොරින් කුණු ශරීර කොටස් වැගිරෙන්නා වූ, ප්‍රඥාවක් නැති අඥාන බාලයන් විසින් තණ්හා මානාදියෙන් දැඩිව වැළඳගෙන සතුටු වන්නා වූ මේ කුණු සිරුර දෙස ඥානයෙන් බලන්න!"
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව ශ්‍රවණය කළ කුල්ල තෙරණුවෝ, එකෙණෙහිම ඒ මළසිරුර අරමුණු කොට තමන්ගේම ශරීරයේ සැබෑ තත්ත්වය නුවණින් ගලපා බැලූ සේක. "මේ මළසිරුර යම් සේද, මාගේ සිරුර ද එසේමය" යි සලකා, උන්වහන්සේ තුළ අසුභ සංඥාව උපදවා ගත්හ.
ඒ අසුභ සංඥාව තදින්ම මෙනෙහි කළ උන්වහන්සේ, එම අරමුණෙහිම සිත එකඟ කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගත් සේක. අනතුරුව, ඒ ප්‍රථම ධ්‍යානයම පාදක (සමත්ථ) කරගෙන, ඇතිවීම හා නැතිවීම සලකන උතුම් විදර්ශනා නුවණ වඩා, සකලවිධ කෙලෙස් මුල් පිටින්ම සිඳලමින් උත්තරීතර වූ අරහත් ඵලය ලබා මහරහතන් වහන්සේ නමක බවට පත් වූ සේක!
උතුම් රහත් ඵලයට පත්වීමෙන් පසු, තමන් වහන්සේ සසර ජයගැනීමට පිරූ ඒ අසිරිමත් පිළිවෙත් මඟ සිහිකරමින්, හදවතේ උපන් අමා මහ නිවන් ප්‍රීතිය පහළ කරනු පිණිස කුල්ල මහරහතන් වහන්සේ මෙම ගාථා සය වදාළ සේක:
කුල්ල නම් වූ මම මිනී දමන සොහොන් බිමට ගොස්, එහි අතහැර දමා තිබූ, සොහොනෙහි දමන ලද්දා වූ, පණුවන්ගෙන් ගැවසී ගෙන සතුන් විසින් කා දමනු ලබන ස්ත්‍රී දේහය දුටුවෙමි.
(බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි) රෝගී වූ, අපවිත්‍ර වූ, කුණු වූ, නව දොරින් අශුචි වැගිරෙන්නා වූ, අඥාන බාලයන් විසින් සතුටින් පිළිගන්නා වූ මේ ශරීර සංඛ්‍යාත කුණු ගොඩ දෙස මම නුවණින් බැලුවෙමි.
මම උතුම් ඥානදර්ශනය (ලෝකෝත්තර ඥානය) ලබාගැනීම පිණිස, සද්ධර්ම නැමැති මංගල කන්නාඩිය (කැඩපත) අතට ගෙන, ඇතුළතත් පිටතත් සහමුලින්ම හිස් (තුච්ඡ) වූ මේ සිරුරේ ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා කර බැලුවෙමි.
(මාගේ ජීවත් වන) මේ සිරුර යම් සේද, අර කුණු වූ මළසිරුර ද එසේමය. ඒ මළසිරුර යම් සේද, මාගේ මේ සිරුර ද එසේමය. මේ සිරුරේ යට කොටස යම් සේ අපවිත්‍ර ද, උඩ කොටස ද එසේමය. උඩ කොටස යම් සේ පිළිකුල් ද, යට කොටස ද එසේමය.
මේ සිරුර දහවලෙහි යම් සේද, රාත්‍රියෙහි ද එසේමය. රාත්‍රියෙහි යම් සේද, දහවලෙහි ද එසේමය. පෙර (තරුණ කාලයේ) යම් සේද, පසුව (මහලු වී මිය යන කල) ද එසේමය. පසුව යම් සේ කුණු වී යන්නේද, පෙර ද (දැනුත්) එහි ස්වභාවය එයමය.
පංචාංගික තූර්ය වාදනයෙන් (ලෝකයේ ඇති ඉහළම මධුර සංගීතයෙන්) ලබන යම් සතුටක් ඇත්ද, මනාව සද්ධර්මය කෙරෙහි විදර්ශනා වඩමින්, චිත්ත ඒකාග්‍රතාවයට (සමාධියට) පත් වූ උත්තමයා ලබන උත්තරීතර නිරාමිස ප්‍රීතිය හා සැසඳීමේදී ඒ ලෞකික සතුට කිසිසේත්ම සම කළ නොහැක්කකි!
ස්කන්ධ ධර්මයන්ගේ (රූප, වේදනා, සන්නා, සංඛාර, විඤ්ඤාණ) ඇතිවීම හා නැතිවීම යම් යම් ආකාරයකින් නුවණින් දකින්නේ ද, ඒ හැම ආකාරයකින්ම ඒ උත්තමයා අප්‍රමාණ ප්‍රීති ප්‍රමෝදයට පත් වෙයි. ප්‍රඥාවන්තයන් විසින් දන්නා ලැබිය යුතු ඒ උතුම් අමා මහ නිවන හෙවත් අමෘතය එයම වන්නේය.
Source: https://www.facebook.com/photo/?fbid=122147485353052098&set=a.122097246039052098

Comments