පොහොය දින හා ඒවායේ වැදගත්කම

දුරුතු(ජනවාරි)


සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ  සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.
බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අදමිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි.
අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි.


බුදුන් වහන්සේ ගේ ධර්මයට අවුරුදු දහස් ගණනක් ගත වුවත් එය අකාලික ව නොවෙනස් ව පවතින්නේ මේ රටේ යි. ඒ ථෙරවාද බුද්ධ ධර්මයේ ධර්ම භාණ්ඩාගාරය ලංකාව වීම කොතරම් භාග්‍ය සම්පන්න ද? මුළු ලෝකයේ ම ජනයා අපට ගෞරව කරන්නේ අප රටට ආදරය කරන්නේ අනිත් කිසිදු දෙයක් නිසා නොවැ නිර්මල බුද්ධ ධර්මය නිසා ය. මේ ශ්‍රේෂ්ඨ දිවයිනේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතු - කේශධාතු - ගී‍්‍රවාධාතු - ලලාටධාතු ඣී ඌර්ණරෝමධාතු - දන්තධාතු ආදී ශාරීරික ධාතූන්ගෙන් වැඩි කොටසක් ඇත. එසේ ම උන්වහන්සේ ගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී බෝධිරාජයාත් පරිභෝග කළ පාත්‍රයත් මේ රටේ සුරක්‍ෂිතව පවත්නේ ය. ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරූඪ කරන ලද්දේත් මේ සිංහල රටේ දී ය. දුරුතු පුන් පොහෝදා මේ හැම කරුණු ඔබ ගේ මනසට නගාගත යුතු ය.


බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පස්සේ මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරැයුමකින් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු මසදීයි. බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එදාඅ දවස ඒ අයුරින් සිදුවුනා. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළා.

නවම්(පෙබරවාරි)
ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත.


උඳුවප්, දුරුතු යන මාස ප්‍රධානව එළැඹි සිටි ශීත සෘතුව ගෙවී යද්දී එළැඹෙන හේමන්ත සෘතුව පසළොස්‌වක පෝය හෙවත් නවම් මාසේ පෝය උදාවත්ම බෞද්ධයාට වැදගත් වන බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් කාරණා රාශියක්‌ම සිතට නැඟෙන්නේ නිරායාසයෙනි. මෙම මාසය චන්ද්‍ර මාස රටාවේ හැටියට එකොළොස්‌වන මාසය වන අතර දහවල් කාලය දැඩි හිරු රැස්‌ පතිත වී උණුසුමත් රැය තුළ ශීතල ස්‌වභාවයත් ඇති කරන්නේ ස්‌වභාව ධර්මය වෙනස්‌කම් පාමිනි.


ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත. එදා ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ පස්‌වග තවුසන් පැවිදිව ඇරැඹි සංඝ සමාජය වසරක පමණ කාලයක්‌ ගතවෙද්දී නානා විධ දර්ශනයන් හි පිහිටා විවිධ ඇදහිලි විශ්වාස ඇතිව විමුක්‌තිය සොයා ගිය පිරිස්‌ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා යථාර්ථය අවබෝධ කරගෙන පැවිදි වීමත් සමග සංඝ ශාසනය සංකීර්ණ එකක්‌ බවට පත්වූවේය.


උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් තම පිරිවර දහසක්‌ සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළුÊදෙසීය පනහක භික්‌ෂු පිරිසද, යසකුල පුතු ඇතුළුÊපිරිසද වශයෙන් එක්‌දහස්‌ තුන්සියය ඉක්‌ම වූ සංඝ සන්නිපාතයක්‌ එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්‌ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්‌ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වේ.


බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්‌වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේය. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්‍රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීමය. එහෙත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටියදී නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක්‌ බවට බුදුහිමියන් වෙතට සංඝයාගෙන් චෝදනා එල්ල විය. විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්‌ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්‍රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක්‌ ඇතිකළ බව සඳහන් වේ. බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් මේ අවස්‌ථාව දක්‌වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිsමිනමක්‌ පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ අතර මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පින් රැස්‌කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත නැති කළ සේක.


අගසව් තනතුරු ලැබූ මෙම දෙනම අනෝමදස්‌සි නම් බුදුවරයාණන් වහන්සේ දවස සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූහ. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින් බොහෝ කලක්‌ වැස ඉන් කළකිරී ප්‍රවෘජා භූමියට පත්වූහ. එහිදී ගෞතම නම් වන අනාගතයේ ලොව පහළව වදාරන්නා වූ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු සඳහා ඉහත කී අනෝමදස්‌සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දේය. මෙම දෙදෙන එම තනතුරු පතා සසර පුරා පින් දහම් හි හැසිර ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි සරද තවුසා උපතිස්‌ස නමින්ද සිරිවර්ධන තවුසා කෝලිත නමින්ද උපන්හ. සසර පුරුදු ලෙසින් දෙදෙනා මිත්‍රයෝද වූහ. එකල්හිද සැප සම්පත් අනුභව කොට එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට සම්බන්ධව විනෝද වෙද්දී එලෙස නිසරු බව අවබෝධ වූවෝ විමුක්‌තිය සොයා සංජය පිරිවැජි යටතේ පිරිවැජි වෙස්‌ගෙන භාවනායෝගී වූහ. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්‌තිය සොයා වෙන්ව දෙමඟක යන්නේ උපතිස්‌ස පිරිවැජියාට අස්‌සජී තෙරුන් වහන්සේ හමුවී පැහැද හේතු ප්‍රත්‍ය ධර්මය විස්‌තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම්වූ ගාථාව අසා පැහැද ධර්මය අවබෝධ වී සිය මිතුරා සමග තවත් සිය ගණනක්‌ අතවැස්‌සන් කැටුව බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ.


එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මධ්‍යයේ බුදු හිමි වැඩ වසන්නා වූ ඈතින් එන පිරිස්‌ දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑයි පැවසු සේක. පැමිණි පිරිස ඒහි භික්‌ෂු භාවයෙන් පැවිද්ද ලද අතර සැරියුත් හිමි දකුණත් සව්ද, මුගලන් හිමි වමත් සව් ලෙසටද නම්කරනු ලැබූ සේක.


සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින්ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින්ද හැඳින්වූයේ මවුවරුන්ට ගරු කිරීමක්‌ හැටියට ය. පැවිදිව සත් දිනකින් මුගලන් හිමි රහත් ඵලයට පත් විය. දීඝනක පරිභ්‍රාජකයාට දේශනා කළ දහම් අසා සැරියුත් හිමිද රහත් භාවය ලද්දේ ය. අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට ප්‍රකාශ කළ සේක.


"එතදග්ගං භික්‌ඛවෙ මම සාවකානං භික්‌ඛූ නං පඤ්Æ වන්තානං යදිදිං සාරිපුත්තො ඉද්ධිමන්තානං මහා මොග්ගල්ලානො" (අංගුත්තර නිකාය) "මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ගෙන් මහා ප්‍රාඥයන් අතුරෙන් සැරියුත් තෙරුණුවෝද, සෘද්ධිමතුන් අතුරෙන් මුගලන් තෙරණුවෝද අග්‍රවෙති. තවද "සෙවෙථ භික්‌ඛවෙ සාරිපුත්ත මොග්ගලීලාතො භජථ භික්‌ඛවෙ සාරිපුත්ත මොග්ගල්ලානො.." යන ලෙසට සැරියුත් මුගලන්a දෙනම ඇසුරු කිරීමේ වැදගත්කමද සච්ච විභංග සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ දේශනා කළ සේක.


මෙලෙසට ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා අගසව් තනතුරු ආදී තනතුරු ප්‍රදානය කරන්නට සිදුවු බව බුදු හිමි අපේක්‌ෂා කළහ. එපමණක්‌ද නොව තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත නැති කිරීම් වස්‌ ප්‍රථම "ඕවාද ප්‍රාතිමෝක්‌ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද නවම් පෝ දිනයේය. මුල් යුගයේද භික්‌ෂු සමාජයට අවවාද විනය නීති අවශ්‍ය වූයේ නැති අතර සිහි කිරීම පමණක්‌ ප්‍රමාණවත් වූ බව පාරාජිකා පාලි දේශනාවට ඇතුළත්ව තිබේ. බුද්ධත්වයෙන් මුල් විසිවස (පඨමාභිසම්බෝධි සමය) තුළ භික්‌ෂු සමාජයේ විනය ශික්‌ෂා නොමැති වුවද පසුව කල්යැමේදී ඕවාද ප්‍රාතිමෝක්‍ෂය අවශ්‍ය බව සඳහන් කළ හැකිය.


මෙම පෝය දින වැදගත් වන තවත් එක්‌ කරුණක්‌ වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්‌කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමය. මෙම අනුවේදනීය අවස්‌ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක්‌ තිබිණි. මෙම අවස්‌ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්‌ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්‌ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්‌කාරය අත්හැරීම් අටක්‌ පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ. "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක්‌ කාලයක්‌ වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්‌ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක්‌ වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක්‌ ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්‌ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්‌ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වී ඉහත කී ලෙසින් පිළිතුරු දීමටද සිදු වූයේය.


මෙපරිද්දෙන් සලකා බලන කල්හි නවම් පුර පසළොස්‌වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පැහැදිලි වෙයි. ලෝක සත්වයාට වසර හතළිස්‌ පහක්‌ පුරා ධර්මය දේශනා කරමින් විමුක්‌ති මාර්ගය පෙන්වා සිය දහසක්‌ ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්‌තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය.


මැදින් (මාර්තු)
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර චාරිකාව හෙවත් උපන්බිමට වැඩමවීම බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීම් රාශියකට හේතු වූ ආකාරය ප්‍රකටය. විසිදහසක් පමණ මහ සඟරුවනත් ඒ සා විශාල සංඛ්‍යාවක් වූ උවසු පිරිසත් සමඟ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම කොතරම් සැදැහැයක් දුටු දුටුවන් සිත් සතන් හි ජනිත වන්නට හේතු වූයේ දැයි සිතිය නොහැකි තරම්ය.


අද මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි. හැම සිත් තුළම ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා වූ කරුණු කිහිපයකින් වැදගත්වන අද දිනය පිළිබඳ විමසා බැලීම සියල්ලන්ගේම ශ්‍රද්ධා ගුණය වර්ධනය වීම සඳහා මහෝපකාරි වනු ඇත. සතර පොහොය දින අතුරින් පුර පොහෝ දිනය බොදුනුවන්ගේ විශේෂ සැලකීමට භාජනය වන දිනයක් වේ. එසේ වීමට හේතු වී ඇත්තේ එම පොහොය දිනයෙහි බුද්ධචරිතය සම්බන්ධයෙනුත් ශාසන ඉතිහාසයට අදාළවත් විශේෂ සිදුවීම් බොහෝ විට සිදුව තිබෙන නිසාය. ඒ අනුව, අද දිනයේද බුද්ධ චරිතය සම්බන්ධ සිදුවීම් රාශියක් සිදුවී ඇති බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ.


බුද්ධත්වයට පත්වීමෙන් පසු තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අද වන් මැදින් පොහෝ දිනක අරඹන ලද කිඹුල්වත්පුර ධර්ම චාරිකාව බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර දක්වා යොදුන් සැටක් පමණ ගමන් කළ යුතු වූ ඒ අසිරිමත් සදහම් චාරිකාව අරඹන ලද්දේ අද වැනි මැදින් පොහෝ දිනයකදීය. විසිදහසක් පමණ වූ මහරහතන් වහන්සේ පිරිවරාගෙන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙසේ ගමන් ඇරැඹුයේ තම දයාබර පියරජතුමාණන් වූ සුදොවුන් නිරිඳුන් පිළිබඳ අපරිමිත දයානුකම්පාවකින් ද යුතුවය. එසේම තමන් වහන්සේගේ ඥාති සමූහයා වූ ශාක්‍ය වංශිකයන් කෙරෙහි වූ ඉමහත් අනුකම්පාවක් ද ඇතිවය. මේ අනුව, තම පිය මහරජතුමා ප්‍රධාන ඥාතිවර්ගයා වෙනුවෙන් උතුම් නිවන් සුව සාධනය කරදීම තථාගත අමාමෑණියන් වහන්සේගේ මෙම දහම් චාරිකාවෙහි මූලික අපේක්‍ෂාව වූ බව ඉතා පැහැදිලිය.


සිද්ධාර්ථ රජකුමරුවන් සියලු සැප හැර දමා මහබිනික්මන් කොට ගෙවී ගිය කාලය පුරාම තම පුතණුවන් පිළිබඳ තොරතුරු විමසමින් සුදොවුන් රජතුමා ක්‍රියා කළ ආකාරය ඉතා ප්‍රකටය. සත්‍ය ගවේශීව සැරිසරන තම පුතණුවන් අපේක්‍ෂිත සත්‍යය සොයාගෙන බරණැස ඉසිපතනයේදි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ආකාරයත් එම දහමෙහි වූ සුවිශේෂිතාවයත් පිළිබඳ රජතුමාට නිරන්තරයෙන්ම අසන්නට ලැබුණි.භික්‍ෂු සංඝයා පිරිවරා වේළුවන මහා විහාරයෙහි වැඩවසමින් ලෝකර්ථචර්යාවෙහි නියැළෙන තම පුතණුවන් දැකගැනීමේ ඕනෑකම දිනෙන් දිනම සුදොවුන් රජතුමාට දැනෙන්නට විය. තම අදහස් බුදුරජාණන් වහන්සේට දැන්වීමට වරින්වර දූත පිරිස් පිටත් කළ නමුත් ඔවුහු සියල්ලෝම ශාසනයට අතුළත් වූහ. එහෙත් තම අදහස අත් නොහළ රජතුමා තම පුතු කුමාර අවධියේ ඉතා සමීපතමයකු වූ කාළුදායි ඇමැතිවරයා අවසන් වශයෙන් මෙම දූත මෙහෙවරෙහි යෙදවූ බව ඉතා ප්‍රකට කරුණකි. රජුගේ අවසරය පරිදි, බුදුරදුන් හමුවට ගිය ඔහු ද සසුන්ගතව කල්යල් බලා රජුගේ අපේක්‍ෂාව බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළේය. මේ සඳහා ගාථා සැටකින් යුක්ත වූ මාර්ග වර්ණනාවක් සිදුකරමින් සැට යොදුන් ගමන් මග හා අවට පරිසරයත් දේශගුණයේ සුවපහසු බවත් වර්ණනා කරන්නට යෙදුණි. මේ සොඳුරු මඟ වැනුම අතිශය චමත්කාර ජනකය. වීතරාගි සිතක ඇතිවන සෞන්දර්යාත්මක සිතුවිලිවල ස්වභාව මෙන්ම කාළුදායි තෙරුන්ගේ නිසඟ කවිත්වය ද මින් මනාව ප්‍රකට කෙරේ.මෙම මාර්ග වර්ණනාවත් සමඟ කරන ලද ආරාධනාවෙන් ඉස්මතු කර දැක්වූයේ කිඹුල්වතට වැඩමවීම සඳහා මැදින් පුර පොහෝ දිනයෙන් ඇරැඹෙන ඉදිරි කාලය ඉතා සුදුසු බවයි. ඒ අනුව, බුදුපියාණන් වහන්සේ කිඹුල්වත්පුර ගමනාරම්භ කළ ආකාරය අපේ ධර්ම සාහිත්‍ය මැනැවින් විස්තර කොට ඇත.


තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර චාරිකාව හෙවත් උපන්බිමට වැඩමවීම බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීම් රාශියකට හේතු වූ ආකාරය ප්‍රකටය.විසිදහසක් පමණ මහසඟරුවනත් ඒ සා විශාල සංඛ්‍යාවක් වූ උවසු පිරිසත් සමඟ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම කොතරම් සැදැහැයක් දුටු දුටුවන් සිත් සතන් හි ජනිත වන්නට හේතු වූයේ දැයි සිතිය නොහැකි තරම්ය.


එහෙත් මේ සා විශාල පිරිසක් සමඟ සන්සුන් ගමනෙන් කපිලවස්තු පුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීමට ශාක්‍යයන් එක්වරම ඉදිරිපත් වූයේ නැත. ඔවුහු මහත් මානයෙන් මත්ව සිටියෝය. කුඩා ශාක්‍ය කුමර කුමරියන් ලවා වැඳුම් පිදුම් කරවූ මොවුන්ගේ මානය බිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ අසිරිමත් බුදුපෙළහරක් වූ යමාමහ පෙළහර පෑමෙහි යෙදුණු සේක. මෙම ඵෙශ්චර්ය දුටු සුදොවුන් මහරජතුමාණෝ තම පුතණුවන් සඳහා තෙවැනි වැඳීමද මෙහිදී සිදුකළහ. සෙසු ඥාතීන් ද ඉන් අනතුරුව වන්දනාමාන කළ අතර බුදුරදහු මෙහිදී වෙස්සන්තර ජාතකය දේශනා කොට වදාළහ.


සසුන සඳහා නිග්‍රෙ‍්‍රීධාරාමය පූජා කිරීමත්, මානාධික වූ ශාක්‍යයන්ගේ නොකැමැත්තෙන් නගරයේ පිඬු සිඟා යෑමත්,තමන් වහන්සේ වෙත නොපැමිණි යශෝදරාව වෙත කරුණාවෙන් ඇගේ මාළිගයට වැඩමවීමත් මෙහිදී සිදුවූ විශේෂ සිදුවීම් ලෙස සඳහන් වේ. යශෝදරාව වෙත බුදුරදුන් වැඩමවීම ගුණගරුක කුල කාන්තාවක වෙනුවෙන් සිදුකරන ලද මහා අගය කිරීමක් ලෙසත්, මාතෘත්වය පිළිබඳ දක්වන ලද මහා ගෞරවයක් ලෙසත් සඳහන් කළ යුතුව ඇත. මෙහිදී සඳකිදුරු ජාතකය දේශනා කළ ආකාරයත් ධර්ම දේශනය අවසන යශෝදරාව පැවිද්ද සඳහා අවසර පැතූ ආකාරයත් ඉතා ප්‍රකට කරුණු ලෙස දැක්විය හැකිය.


කිඹුල්වත්පුර ගමනේදී සිදුවූ තවත් වැදගත් සිදුවීම් දෙකක් ලෙස නන්ද කුමරුගේ සහ රාහුල කුමරුගේ පැවිද්ද සඳහන් කළ හැකිය.බුදුරදුන්ගේ ඥාති සොහොයුරා වූ නන්ද කුමරු ඊළඟ රජු වශයෙන් අභිශේක කළ යුතු පුද්ගලයා විය.පරපුර පවත්වාගෙන යෑමේ වගකීම ද ඔහුට පැවැරී තිබුණි. අභිශේක මංගල්‍යයත්, ගෘහ ප්‍රවේශ මංගල්‍යයත්, විවාහ මංගල්‍යයත් යන අතිශය සොඳුරු සිදුවීම් කිහිපයක් ඉදිරියේ තිබියදී නන්ද කුමරුගේ පැවිද්ද සිදුවිය.


බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයේ ගත කළ සත්වන දිනය ද ඉතා වැදගත් වූවකි. යශෝදරා විසින් තම සත් හැවිරිදි පුත් රාහුල කුමරුවන් ගිහි ජීවිතයේ ඔහුගේ පියාණන් වූ බුදුරජාණන් වහන්සේ පිටුපස පිටත්කර හරින ලද්දේ දායාද ලබාගැනීම සඳහාය. උන්වහන්සේ එහිදී තම සුරතල් පුතණුවන්ට ලබාදුන් දායාදය අගය කළ නොහැක්කකි. එනම් ශාසන දායාදයයි. කුඩා රාහුල කුමරු පැවිදි කිරීම නිසා සුදොවුන් රජතුමාට ඇතිවූයේ මහත් දුකකි. දුක්බර හැඟුමින් බුදුරදුන් වෙත පැමිණි රජතුමා දරුවන් පිළිබඳ මවුපියන් තුළ ඇති අපරිමිත දරු සෙනෙහස කියමින් මවුපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස ඉල්ලා සිටියේය. මෙම අදහස පිළිගත් තථාගතයන් වහන්සේ මවුපිය අවසරයෙන් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස භික්‍ෂූන්ට නියම කළ සේක.


මැදින් පුර පොහෝ දිනයෙන් ඇරැඹුණූ කිඹුල්වත්පුර ගමනින් සිදු වූ ශාසනික ප්‍රබෝධය ඉහත තොරතුරුවලින් අනාවරණය වේ. එබැවින් ශාසනික වශයෙන් අද දිනයේ වැදගත්කම මෙතෙකැ’යි කියා නිම කළ නොහැකි තරම්ය. එවන් වූ උතුම් පොහෝ දිනයක ඇති වටිනාකම පිළිබඳ විමසා බැලීමෙන් ද විවිධ පින්කම්වලට සහභාගිවී උපදවා ගත් පුණ්‍ය ධර්මයන් හි බලයෙන්ද උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු.


බක් (අප්‍රේල්)
ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.


අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.


හැම ගුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.


වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන සිරිමත් මසකි.


මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් දනන් නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.


බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය.


ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ. චුලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟ ය.


බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවුහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා මුන් වහන්සේ ඔවුනට දක්නට සැලැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා කමල් වැන්දාහ.


ලෝක නථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදින්ගේ ආදීනව කාකොලුක ජාතිකය, එන්දක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදි සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.


මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රාජ තෙමේත් කැලණි සුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.


මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පීි‍්‍රතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි.


උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.


නාගදීප චෛත්‍යය


නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යාපනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශතවර්ෂයේ යාපනයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමු වූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.


නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නොවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බවට කෙතෙකුත් සාක්ෂි ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නොබලා දුෂ්කරකම් ගැන නොසලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්තව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මලව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසාය.


සතර පෙර නිමිති පහළවීම


සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදුව සිටියහ.


සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කලකිරි අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසා තිබුණේ ය. විසිනව වසක් සපිරි සිදුහත් මහා බෝසතාණන්වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා (මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනයක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසල පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.


කිඹුල්වත් පුර ගමන


සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවුයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්ණ කළහ.

වෙසක් (මැයි)

ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. එයට එක් හේතුවක් වූයේ බුද්ධත්වයට පත් වූ උතුමාණන් වෙසක් පුන් පොහෝ දිනක උපත ලැබීම යි. කිඹුල්වත් නුවර එවකට පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ දේවිය වූ මහාමායා අගබිසවගේ කුසෙහි බෝසතුන් පිරිසිඳ ගැනීමෙන් දස මසක් සම්පූර්ණ වීමත් සමග එතුමියට තම මවුපියන් විසූ දෙව්දහ නුවරට යාමට සිත් විය. ඒ අනුව සැරසූ මගින් අමාත්‍යවරුන් ප්‍රධාන සපිරිවරින් ගමන ඇරඹුනි. මල් බරින් සපිරුණු ලුම්බිණි නම් සාල වනෝද්‍යානය හමු වූයෙන් එහි සල් අත්තක් අල්ලාගෙන සිටිය දී මහාමායා දේවියගේ කුසින් ධර්මාසනයකින් බස්නා මහා ධර්ම කථිකයාණන් කෙනෙකු මෙන් බෝසතාණෝ බිහි වූහ.


මහත් වූ ආශ්චර්යය ජනක සිදුවීම් මුළු ලොවෙහිම සිදු වෙත් දී බිමට පා තැබූ බෝසතාණෝ පොළොවෙන් පැන නැගුණ පියුම් හතක් මත සත් පියවරක් ගමන් කරමින් “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීම යි. නැවත ඉපදීමක් නැත” යනුවෙන් සිංහ නාද කළහ.


අප මහබෝසතාණෝ උපතත් සමග කතා කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මහෞෂධ අත්බැව් හි දී සක් දෙවිඳුන් විසින් දුන් සඳුන් ගැටය අත තබාගෙන බිහි විය. සුමනා නම් මව “දරුව අතේ කුමක් ගෙන ආයේ ද?” යි ඇසූ කල්හි “බෙහෙතක් ගෙන ආයෙමි” යි දුන් පිළිතුර උපතත් සමග බෝසතුන් කළ පළමු ප්‍රකාශය යි. වෙස්සන්තර ආත්ම භාවයේ දී මවුකුසින් බිහිවෙමින් දකුණත දිගු කොට “මෑණියනි, දන් දීමට ගෙයි කිසිවක් ඇත්දැයි” කළ විමසීම දෙවන අවස්ථාව යි. බුදුවන ආත්මයේ දී ඉහත කී අන්දමට “අග්ගො හමස්මි....” ආදී වශයෙන් කළ ප්‍රකාශය තුන්වන අවස්ථාව යි.


අනාගතයේ බුද්ධත්වයට පත්ව මුළු ලොවටම අර්ථ සිද්ධිය සලසන බව උගත් බමුණන්ගෙන් දැනගත් සුද්ධෝදන රජතුමා බෝසත් පුතණුවන්ට ‘සිද්ධාර්ථ’ යනුවෙන් නම් තැබීය. මැනවින් හැදුනු වැඩුනු සිද්ධාර්ථ බෝසතුන් ශිල්ප ශාස්ත්‍ර උසස් සේ හදාරා සොළොස්වන වියේ දී යසෝධරා නම් රජ කුමරිය සරණපාවා ගත්තේය. විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක රාහුල නම් පුතණුවන් උපන් ඇසළ පෝදා මධ්‍යම රාත්‍රියේ දී නිවන් අවබෝධ කර ගැනීමේ අදිටනින් මහභිනික්මණෙහි යෙදුනි. සය අවුරුද්දක් මුලුල්ලෙහි යෙදුනු දැඩි දුෂ්කර ක්‍රියා මෙගහි නිෂ්ප්‍රයෝජනත්වය වටහා ගත් සිද්ධාර්ථ තවුසාණන් ඒ මග අත්හැර මධ්‍යම ප්‍රතිපදාව තුළින් තම අරමුණ සාර්ථක කර ගත යුතු යැ යි තීරණයට එළඹුණි.


වෙසක් පුන් පෝදාක අලුයම අජපල් නම් නුගරුක මුල දී සුජාතා සිටුදුව පිළිගැන්වූ කිරිපිඬු වළඳා සවස් භාගයෙහි සොත්ථිය බමුණා විසින් දෙන ලද කුස තණ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පාමුල අතුරා නැ‍ෙගනහිරට වැඩ සිට බුදුබව ලැබීමේ ප්‍රතිපදාවට සිත් යොමු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුහත් බෝසතාණෝ වෙසක් පුන් පෝදා රාත්‍රි පශ්චිම යාමයෙහි දී සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූහ.


බුද්ධත්වයට පත්වීම හදිසියේ වූ සාමාන්‍ය සිදුවීමක් නොවේ. ඒ සඳහා උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පිරූහ. සුමේධ තාපසව උපන් අවධියේ දී අපරිමිත රහතුන් පිරිවරාගෙන වැඩම වූ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයෙහි මහ මඩෙහි ඒදණ්ඩක් මෙන් වැතිර සිටි අවස්ථාවෙහි අනාගතයෙහි ‘ගෞතම’ නමින් බුදු වන බවට නියත විවරණ ලැබීමත් සමග බෝසතාණන්ගේ කරුණා හා ප්‍රඥා ගුණය වඩාත් වර්ධනය වන්නට විය. බුද්ධ කාරක ධර්මයන් වූ දස පාරමී ධර්මයන් නොඅඩුව සම්පූර්ණ කිරීමට උපන් සෑම ආත්මයක් පාසාම ආශ්චර්යය ලෙස ක්‍රියාත්මක විය. මහ සයුරේ ජලයට වඩා අනුන්ගේ යහපත සඳහා ලේ දන් දෙමින් ද, මහ පොළොවේ පස්වලට වඩා අනුන්ගේ යහපත සඳහා ශරීර මාංස පරිත්‍යාග කරමින් ද, අහසේ තාරකාවන්ට වඩා තම ඇස් පරිත්‍යාග කරමින් ද ප්‍රකට කළ අසම වූ ගුණයන් නිසා උතුම් වූ සම්බුද්ධත්වය ලබා ගැනීමට හැකිවිය.


එදා වෙසක් පුන් පෝදා බුද්ධත්වයට පත්වීමත් සමග තම සිත්හි පහළ වූ අසීමිත පී‍්‍රතිය ප්‍රකට කෙරෙමින් “අනෙක ජාති සංසාරං...” යන උදාන ගාථාව ප්‍රකාශ කළ බව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. සම්බුදු රදුන්ගේ මුවින් නිකුත් වූ ඒ ප්‍රථම බුද්ධ වචනය යි ධම්මපද අටුවාව ඇතුළු ස්ථාන කිහිපයක සඳහන් වේ. එහෙත් අභිධර්ම අටුවාව සහ තවත් ස්ථාන කිහිපයකම ප්‍රථම බුද්ධ වචනය වශයෙන් පළමුවන සතිය ගතකරද්දී දේශිත “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදි ගාථාව සඳහන් වෙයි. මෙය එකිනෙකට විරුද්ධ මත දෙකක් වශයෙන් පෙනුනත් එසේ නොවේ. “අනෙක ජාති සංසාරං...” යන ගාථාව බුද්ධත්වයට පත්වීමත් සමග මුලින්ම උන්වහන්සේගේ සිතේ පහළ වූ අදහසකි’ “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදී ගාථාව වාග් භේදයෙන් කළ ප්‍රථම දේශනාව වශයෙන් ගත්විට කිසිදු ගැටලුවක් නොවේ.


ලෝ සතුන් වෙත අපරිමිත කරුණාවකින් යුතුව දවසේ දෙපැයක් පමණ හැර මුළු කාලයම කැප කරමින් සම්බුදු රදුන් සිදුකළ මහඟු සේවය මෙපමණ යැයි දැක්වීම අපහසු ය. කෝටි සංඛ්‍යාත සත්ත්වයන් සසර සයුරෙන් එතෙර කිරීමටත්, උසස් ගුණ දහමින් සම්පූර්ණව අගනා ජීවිත ගත කිරීමට මග සැලසීම උදෙසා උන්වහන්සේගේ තම කාලය කැප කළහ. සම්බුදු රදුන් බුද්ධත්වයෙන් පන්සාළිස්වස බේලුව ගමෙහි ගතකොට අනතුරුව චාපාල චේතියස්ථානය වෙත සංඝරත්නයත් සමග වැඩම කළහ. එහිදී අනඳ තෙරුන් ඇමතු බුදුහු සතර ඍද්ධිපාද ධර්මයන් යහපත් කොට වඩවන්නහුට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ සිටිය හැකිය යි වදාළහ. මාරයා විසින් සිත සසල කිරීම නිසා කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ආරාධනා කිරීමට උන්වහන්සේට නොහැකි විය. අනඳ හිමියන් මද වේලාවකින් බුදුරදුන්ගෙන් අවසර ගෙන ඉවත්ව යාමත් සමඟ එහි පැමිණි මාරයා දැන් සියලු බුද්ධ කෘත්‍යයන් නිමකොට ඇති හෙයින් පිරිනිවන්පාන්න යි අයැද සිටියේ ය. එම ආරාධනය පිළිගත් බුදුහු මෙයින් තෙමසක් ඇවෑමෙන් පිරිනිවන්පාන බවට ප්‍රතිඥා දුන්හ. මෙසේ ආයුසංස්කාරය කිරීමත් සමග මුළු ලෝක ධාතුවම මහත් සේ සැලෙන්නට වූ බව ධර්ම ග්‍රන්ථ පෙන්වා දෙයි.


අසූ වසරක් වැඩ සිටිමින් දුකට පත් සත්ත්වයන් සුවපත් කරමින් ද අමාමහ නිවන් සුවය ලබා දෙමින් ද කටයුතු කළ සම්බුදු පියාණෝ ගම් නියම්ගම් පසු කරමින් කුසිනාරා නුවරට වැඩමවා මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ උයනෙහි සාල වෘක්ෂයන් අතරෙහි උතුරට හිස දා අනඳ හිමියන් පැන වූ අස්නෙහි වැඩ සිටියහ. අවසානයෙහි භික්ෂූන් අමතා “අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් අන්තිම බුදු වදනින් අවවාද දී අපමණ දෙවි – බඹුන්ගේ වන්දන මානයට ලක්ව මෙයට පෙර දෙදහස් පන්සිය පනස් අටවැන්නේ වෙසක් පුන් පෝදා පිරිනිවන් පා වදාළහ. ‘බුදු තෙමගුල’ යනුවෙන් අප නිතර ව්‍යවහාර කරන අදහසට අනුව සම්බුදු රදුන්ගේ පිරිනිවන්පෑම මංගල්‍යයක්සේ සුබ වශයෙන් ගැනීම සුදුසු දැයි සමහරු විමසති. එය උතුම් මංගල්‍යයක් වන්නේ අනාදිමත් කාලයක සිට ඉපදීමත් සමගම ජරා - ව්‍යාධි ආදී අපමණ දුක්වලින් පෙළීම සම්පූර්ණයෙන් නැති කොට සදාකාලික සැපත වූ නිවන්සුව සලසා ගත් හෙයිනි.


සම්බුදු රදුන් පිරිනිවන් පෑමට මද වේලාවකට පෙර වැදගත් සිදුවීමක් විය. එනම් වංශ කතා සාහිත්‍යය සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකා රාජාවලියෙහි ආරම්භක පාලකයා වූ විජය කුමාරයා සත් සියයක් පිරිස සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ තම්මැන්නාව ප්‍රදේශයට ගොඩබැසීමයි. අවසාන වරට දිවැස් යොමා ලොව බැලූ බුදුහු පැමිණි ඒ පිරිස දැක ඔවුනට ආරක්ෂාව සලසන මෙන් සක් දෙවිඳුන්ට නියම කළහ. ඒ අනුව තවුස් වෙසින් පැමිණි උපුල්වන් දෙවියන් මෙරට ජීවත් වූ තරමක් දරුණු වූ, යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් විය හැකි විපත් වළකාලීම පිණිස විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැට ගසා ආරක්ෂාව ලබාදෙන ලද්දේ සක් දෙවිඳුන්ගේ නියමය පරිදි බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.


සිරිලක රාජ නාමාවලියෙහි ආර්ය වංශික ප්‍රථම පාලකයා වශයෙන් දැක්වෙන්නේ මේ විජය රාජ කුමාරයා ය. මේ සමගම ඇති වැදගත් සිදුවීම අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. එනම් අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. ආර්ය වංශික විජය රජතුමාගේ සම්ප්‍රාප්තියත් එදිනම සිදු වූ හෙයින් වර්ෂය ද ඒ සමග ඇරඹෙයි. එසේ නම් මුළු ලෝකයේ කිසිදු ජාතියකට නැති අන්දමට ශ්‍රී ලාංකිකයාට ආගමික වර්ෂයත්, ජාතික වර්ෂයත් එක් දිනයක යෙදීම මහත් වාසනාවකි.


සුද්ධෝදන පිය රජතුමාගේ ආරාධනයෙන් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන සම්බුදු රදුන් රජගහ නුවර සිට කිඹුල්වත් පුරයට වැඩම වූයේ වෙසක් පොහොය දිනක ය. එසේම බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව හතළිස් වසරක් වැඩසිටි ආනන්ද මහ රහතන් වහන්සේ එකසිය විසිවන වියේ දී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පොහෝ දිනක ය. ලංකා ඉතිහාසය පිළිබඳ විමසන විට අශෝක රජතුමාගේ ඉල්ලීම පරිදි සිරිලක පාලනය කළ දෙවන පෑතිස් රජතුමා දෙවන වරට ආර්ය අභිෂේකය පැවැත්වීම, දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම, අභාවයට පත් වූ ලාංකික උපසම්පදාව නැවත වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ මූලිකත්වයෙන් ‘ස්‍යාම වංශික උපසම්පදාව’ නමින් ආරම්භ කිරීම වැනි සුවිශේෂි සිදුවීම් රාශියක් ම වෙසක් පුන් පෝ දිනයක සිදුවීම ඓතිහාසික අතින් වැදගත් වෙයි.


පොසොන් (ජුනි)


ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත‍්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පෝය දිනයේ දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.
ලක්දිව මුටසීව රජු රාජ්‍ය කරන කල්හී, දඹදිව රාජ්‍ය පාලනය කළේ අශෝක අධිරාජ්‍යයාය. අතිශය කෲර යුද වැදීමකින් අනතුරුව කාලිංගය ද තම රාජ්‍යයටම යටත් කොටගත් අශෝක රජු දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා ගත්තේය. එහෙත් දික් විජය නම් වූ යුධ වැදීමේදී මිය ගිය සුවිශාල මිනිස් ජීවිත ගැන ඔහු තුළ මහත් සන්තාපයක් විය. එය සංසිඳුවා ගනු නොහී පසුතැවිල්ලෙනි රජු කල් ගත කළේ.
මාලිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලාසිටි අශෝක රජු කැලඹුණු මිනිසුන් අතරේ දුටු අසිරිමත් දසුනකි. හත් හැවිරිදි නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ ශාන්ත පියොවින් මාර්ගයේ ගමන් ගනී. දුටු පමණින් පහන් වූ රජු ඒ සාමණේරයන් වහන්සේ සිය රජ මැදුරට වැඩම කරවා කතාබස් කළේය. නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ චණ්ඩාශෝක නමින් ප‍්‍රකටව සිටි දෘඪ සිත් ඇති අශෝක අධිරාජ්‍යයා හට ධම්මපදයේ අප්පමාද වර්ගයේ ගාථා වලින් දහම් දෙසූ සේක. ඒ ධර්මාශෝක රජු බිහිවීමේ ආරම්භයයි.
අතිශයින්ම බුදු සසුන කෙරෙහි පැහැදුනු අශෝක අධිරාජ්‍යයා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදු සසුනට පූජා කළේය. තම ලෙයින් උපන් මිහිඳු කුමාරයාත්, සංඝමිත‍්‍රා කුමරියත් සසුන්ගත කරවූයේය.
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ හා එක්ව රාජ්‍ය අනුග‍්‍රහයෙන් තෙවැනි ධර්ම සංඝායනාව කොට සසුන්කෙත පිරිසිදු කරලීමට දායක වූයේය. ධර්ම විජය යටතේ ධර්මදූත ශ‍්‍රාවක පිරිස් පිටත්කොට බුදුරජුන්ගේ ධර්මය ව්‍යාප්ත කරවීය.
ඒ ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප‍්‍රතිඵලයක් ලෙසය අප ලක්දිවට මේ ශ්‍රී සද්ධර්මය දායාද වූයේ. එකල මේ ලක්දෙරණ පාලනය කළ දෙවනපෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේය. ඒ උතුම් පුන් පොහෝ දිනයේදී “අනුබුදු” නමින් ලක්වැසියන්ගේ ගෞරවාදරයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවනපෑතිස් රජු හට හමු විය.
“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”
“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප‍්‍රශ්න කළේය.
මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැතිබව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් මේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය. නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.
චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

ඇසළ (ජූලි)

බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය.


ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්‍මචක්‍රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය.


තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්‍මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්‍මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය.


බුදුන් වහන්සේ වසර හතලිස් පහක් මුළුල්ලේ දේශිත උතුම් ධර්‍මය විසිර පැවතුණි. එය ඉදිරියට කට පාඩමින් ගෙනයා හැකි ආකාරයට අනු පිළිවෙළට සකස් කර සඟ පරපුරට පැවරීමේ මහා මෙහෙය හෙවත් පළමු ධර්‍ම සංගායනය ආරම්භ වුයේ ද අද වගේ දිනකදී ය. මෙම උතුම් සේවය එදා සිදු නොවන්නට මෙම ශාසනය කෙබදු පැත්තකට යොමු වේදැයි සිතිය නො හැකිය.


ලක් බුදු දහමේ ආරම්භය ලෙස පසුගිය පොසොන් පොහොය මහත් උත්කර්ෂයෙන් පවත්වනු ලැබීය. ඒ තරමට මෙම පෝය ලාංකීය භික්ෂු සමාජය ගැන සිතන විට වැදගත් කමක් උසුලයි. අරිට්ඨ කුමරු ඇතුළු පනස් දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ මෙම උතුම් දිනයේ බැවිනි. මෙම ලාංකීය සඟ පරපුර විශ්වය පුරා සැරිසරමින් වර්තමානය දක්වා ලොවට අධ්‍යාත්මික සුවය ලබාදීම ආරම්භ කළේ අද වගේ දිනයකයි.


බුරුමයේ සේදගොන් චෛත්‍යය ලොව මහත් ගෞරවයට හා වන්දනයට පත් වූ බෞද්ධ පූජනීය ස්ථානයකි. එයට නො දෙවෙනි ගෞරවයට හා පුජාවට ලක් වූ ස්ථානයකි ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ.


අපගේ මෙම පින්බිමේ අභිමානය අතීත මුතුන්මිත්තන්ගේ ජ්‍යාමිතික නිර්මාණ හැකියාවන් ලොවට පෙන්වා දෙන මෙම උතුම් ස්ථූපය ලොවට දායාද කිරීමට දුටුගැමුණු මහරජු විසින් මුල්ගල තැබුවේත් අද වැනි උතුම් පෝය දිනයකයි.


කිත්සිරි මෙවන් රජු සමයේ දන්ත කුමරු හා හේමමාලා කුමාරිය බුදුන් වහන්සේ දේසිත අසූහාරදහසක් වූ ධර්‍මස්කන්ධය ම ස්පර්ශය ලැබූ දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ අද වැනි පොහෝ දිනයකයි.


එදා රජු දවස දන්ත ධාතුන් වහන්සේ සතුවීම රාජ්‍යත්වය ස්ථිර වීමට ප්‍රබල හේතුවක් විය. එබැවින් වර්තමානයේ පවා දළදා සමිදුන්ට මෙම දිවයිනේ විශේෂ ස්ථානයක් හිමිවෙයි. ඈත අතීතයේ සිට දළදා පෙරහර ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ සංස්කෘතික මංගල්‍යයක් ලෙසද හැඳින්විය හැක. මේ සියලු අංග අප රටට දායාද වූයේ දන්ත ධාතුන් වහන්සේ අපේ රටට වැඩමවූ බැවිනි. මේ ආකාරයට ඇසළ පෝය ලෝකවාසී බෞද්ධයන්ට මෙන්ම විශේෂයෙන් ලක්වැසි බෞද්ධ ජනතාවට උතුම් පොහොය දිනයක් ලෙස සැලකිය හැක.


නිකිණි (අගෝස්තු)
දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය.


නිකිණි පොහොය යනු මිනිස්සු තමන්ගේ දෛනික කටයුතු වලින් වෙන් වී තමන් අදහන ආගම දහම අනුව දැහැමි කටයුතු වල යෙදුණු දවස විය. පොහොය දවස පාලියෙන් හඳුන්වන්නේ උපෝසථ නමිනි. උපෝසථය යනු පෙහෙවස් සමාදම් වීමයි. බුදුදහම නොතිබුණු අවධියේ මහාමායා දේවියද පෙහෙවස් සමාදම්ව සිටි බව බුදුසිරිතේ සඳහන් වේ.


එසේ පෙහෙවස් සමාදම් වීමට හා ආගමික කටයුතු කිරීමට යොදා ගත්තේ හොඳින් සඳ පායා ඇති දවසයි. දින දර්ශන ආදිය නොතිබුණු ආදියේ මිනිස්සු පුන්සඳ ඇති දවස මේ සඳහා යොදා ගත්හ. පොහොයේ ආරම්භය එසේ විය. හොඳින් සඳ පායා ඇති රාත්‍රිය රජවරු ද ධර්ම සාකච්ඡා කිරීම සඳහා යොදා ගෙන ඇති බව ජාතක කතා කිහිපයකම සඳහන් වේ. අජාසත්ත, මිලින්ද ආදී රජවරු ද මෙසේ කර ඇත. පසු කාලයක දැනුම දියුණු වී ගණිත ශාස්ත්‍රය පුළුල් වී මාස දොළහක් වී පොහොය දොළහක් වූ බව සිතන්නට ඉඩ තිබේ. පොහොය දොළහ යනු පුන්සඳ ඇති රාත්‍රී දොළහයි.


මේ දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි.


භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය. පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදුරදුන් පිරිනිවී තෙමසිනි. බුදුරදුන් පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසේ ය. එයින් තෙමසකට පසුව කියන්නේ නිකිණි මාසයයි. ඒ අනුව පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොයයි.


එමෙන්ම මේ සංගායනාවට අත්‍යවශ්‍යම පුද්ගලයා වූයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝයි. ආනන්ද හාමුදුරුවෝ අරහත් මාර්ගයට පිවිසියේ ද නිකිණි පසළොස්වක දවසේ ය. ඒ මගින්ද නිකිණි පොහොය වැදගත් වේ. දඹදිව වර්ෂා සමය තුළ ඉතා තදින් වැස්ස වසී. මෙම වැසි කාලය තුළ කුරුල්ලෝ ද කූඩුවලට වී සිටිති. සිව්පාවෝද තම තමන්ගේ වාසස්ථාන වලට වී සිටිති.


ඇවිදින්නට නොයති. එකල සිටි අන්‍ය තීර්ථකයෝද ගමන් බිමන් නවතා එක් තැන් වී සිටිති. එහෙත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ (භික්‍ෂූහු) දහම් දෙසමින් ඇවිදිති. මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ.ඒ බව දත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට වර්ෂා කාලයේ එක් තැන්ව වසන ලෙස නියෝග පැනවූහ. මේ නියමය පනවන්නට මිනිසුන් කෑගහන තෙක් සිටියේ මන්දැයි ඔබ සිතනු ඇත. තාථගතයන් වහන්සේ කිසිම විනය නීතියක් හේතුවක් නැතිව හේතු රහිතව පනවන්නේ නැත. හේතුවක් ඇතිවන තෙක් සිටීම එක් කරුණකි. දෙවැන්න තථාගතයන් වහන්සේ මහජන බසට කන් දීමයි.බුදු සිරිතේ බොහෝ තැන්වල මෙම ප්‍රජාතන්ත්‍රවාදී මාවත පෙනේ. මේ අනුව භික්‍ෂූන් ඇසළ පසළොස්වක දවසේ පොහොය කිරීම නම් වූ විනය කර්මය කොට පසුවදා වස් විසීමට නියම කළහ. වස් විසීමට නියම කිරීමේ, නැතිනම් වස් විසීමේ ශාසනික අංශය මෙයට වඩා බලවත් ය.


වස් විසීමෙන් අදහස් කළේ ධාරානිපාත වැස්සට නොතෙමී සිටීම පමණක් නොවේ. ඒ කාලය තුළ වීර්යය වඩා මාර්ග ඵල ලබා ගැනීමය. වස් විසීමට පෙර එකල භික්‍ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ කමටහන් ලබාගනිති. උන්වහන්සේ ඒ ඒ අයගේ චරිතයන්ට ගැළපෙන කමටහන් දෙති. මෙසේ කමටහන් ගෙනයන භික්‍ෂූහු වස් කාලය තුළ කමටහන් වඩා සතරමඟ සතර ඵල වලට පැමිණ වස් පවාරණය කොට නැවත භාග්‍යවතුන් වහන්සේ දකින්නට එති.මෙසේ භික්‍ෂු ශාසනය ප්‍රතිවේධ ශාසනයක් වීමේ පසුබිම සකස් වූයේ වස් කාලය තුළ ය.


වස්වැසීම වකවානු දෙකකට සීමාකොට පනවන ලදී. පෙරවස් සහ පසුවස් වශයෙනි.ඇසළ මස පුර පසළොස්වක දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පොහොයදා පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද පැනවීය.ඒ අනුව පසුවස් විසීමේ දිනය වශයෙන් ද නිකිණි පොහොය වැදගත් ය.


ඇසළ මාසය දඹදිව කෙළිදෙලෙන් පසුවන උත්සව සමයයි. දුප්පත් පොහොසත් හැම පුරවැසියෙකුම දඹදිව ඇසළ උළෙල සමරති.සුද්ධෝදන රජ පවුලට ද එයට සූදානම් වූ බව සඳහන්ව ඇත.මේ උත්සව සමය නිසා ඇසළ පොහොයට වස් විසීමට තථාගතයන් වහන්සේ නියම කිරීම ගැන සේනිය බිම්බිසාර රජු කැමැත්ත දැක් වූයේ නැත.


එබැවින් වස් සමාදම් වීම මාසයකින් පසු කරන ලෙස බිම්බිසාර රජු බුදු රදුන් වෙතින් ඉල්ලා සිටියේ ය. මේ ඉල්ලීම භික්‍ෂූන්ගෙන් දැනගත් බුදුරදුන් භික්‍ෂූන්ට නියම කළේ ‘රාජා අනුවත්තිතුං’ යනුවෙනි.


රජුගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන්න යනුවෙනි. එසේ භික්‍ෂූන්ට නියම කොට තථාගතයන් වහන්සේ මගධයෙන් සැවැත් නුවරට වැඩමවා තිබේ. මගධයේ භික්‍ෂූන් ඒ අනුව වස් වසා ඇත්තේ නිකිණි මාසයේ ය. පසු කලෙක මෙය වෙනස් වී ඇසළ මාසයම සම්ප්‍රදාය ගත වී ඇති බව පෙනේ. ඒ අතින්ද නිකිණි මස පොහොය අනුස්මරණීය කළ යුතු ය.කාවන්තිස්ස රජු එකසිය තිස් අටක් විහාර කර වූ බවත් එයින් එක් විහාරයක් සේරුවිල මංගල විහාරය බවත් සඳහන් ය.සේරුවිල මංගල චෛත්‍යයේ ධාතු නිධානය හෝ වැඩ අවසන් වී නිකිණි මස සිදු වූ බව සිතන්නට ඉඩ ඇත.


කකුසන්ධ නම් මහ තෙර කෙනෙකුන් විසින් රචනා කරන ලද ධාතු වංශය නම් ග්‍රන්ථයේ (1890) සඳහන් වන්නේ භාග්‍යවතුන් වහන්සේ අතින් තපස්සු භල්ලුක යන වෙළඳුන් දෙදෙනා ලබාගත් කේශධාතු නාග ලෝකයේ තිබුණු බවත්,ශිව නම් මහ රහතන් වහන්සේ නාලොවට ගොස් නාලොවින් ඒ කේශධාතු ගෙනැවිත් කාවන්තිස්ස රජුට දුන් බවයි.


බිනර (සැප්තැම්බර්)
වස්සාන සමයෙහි එළඹෙන පෝය දින අතුර බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍ය අතින් වැදගත් පෝය දිනයකි. අවුරුද්දේ එළඹෙන වැසි සාර මාසය අමුතු ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකට ය. භික්‍ෂූන් වහන්සේ බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථ ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට, මැනැවින් පැහැදිලි වෙයි.


බුදුරජාණන් වහන්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන් ගේ චරිතයනට සරිලන කර්මස්ථාන ඉල්ලාගෙන, විවේකී ප්‍රදේශ සොයා වැඩම කොට සුදුසු ස්ථානයන් හි වස් වසා භාවනා කර්මයන් හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙර වස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථ ඉටුකරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්‍ෂූන් වහන්සේ පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට හැකි ය. විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතු ව උත්සාහයෙන් මහණ දම් පුරන, තමන්ට සිවු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණ ධර්ම වර්ධනයට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයකි, වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයකම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩ වලින් පිරී ගිය, සොම්නස් සුවය දනවන කාලයකි.


එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර පසළොස්වක් පෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද, කවි සිත පුබුදු කරවන ලද, ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් සෘතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති වලින් පැහැදිලි වෙයි. මේ නයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද වැදගත්කමකින් යුත් මාසයක් බව කිව හැකි ය.


බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය.


බුදුරජාණන් වහන්සේ ගෝතමිය ගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තීරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්ගය පා ගමනින්ම ගෙවා කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියන් හට කරුණු කියා උන්වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ. බුදුහු ආනන්ද හිමියන්ගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළහ. පසුව ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියූ පසු මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. ආනන්දය, ඉදින් මහ ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්ම ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.


ගරු ධර්ම අට
1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්‍ෂූන් දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.


2. භික්‍ෂූන් නැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නොවැසිය යුතු ය.


3. අඩ මසක් පාසා, මෙහෙණක විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු යි.අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතු යි.


4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.


5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඬ මසක් මානත පිරිය යුතු යි.


6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.


7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතුයි.


8. මෙහෙණින් විසින් භික්‍ෂූන් හට අවවාද නො කටයුතු ය.භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.


ආනන්ද හිමියෝ මේ ගරු ධර්ම අට බුදුරදුන්ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්ම විස්තරකොට කියා, ඉදින් ඔබ මේ ගරු ධර්ම පිළිගන්නෙහි නම් එය ම ඔබට පැවිදි උපසම්පදාව වන්නේ යැයි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් පී‍්‍රතීන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට ‘ආනන්ද ස්වාමීනි’ යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙඅතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්ම අට දෙන පිළිගනිමි, යි තුන්වරක් කීවා ය.ඒ වචනය සමඟ ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණකම විය. උපසම්පදා ශීලය ද විය.බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.


මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.


වප් (ඔක්තෝම්බර්)
සුපුරුදු ලෙස ශීලාංගයන්හි පිහිටීමෙන් යුතුව කිසියම් විවේකයක් ලබමින් ආගමික කටයුතුවල යෙදෙන අද දිනය වප් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. අද දිනයෙහි ශාසනික වශයෙන් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධයෙන්ද බොහෝ වැදගත් සිදුවීම් සිදුවී තිබේ. ඔබේ අවධානය සඳහා බුද්ධචරිතය ඇසුරින් හා ශාසන ඉතිහාසය ඇසුරින් එම සුවිශේෂීතාවන් සිහිපත් කිරීමට බලාපොරෙත්තු වන අතර එය ඔබේ ශ්‍රද්ධාව වඩා වර්ධනය සඳහා හේතු වනු ඇත.


කළගුණ සැලකීමේ උසස් බව ප්‍රායෝගිකවම බුදුරජාණන් වහන්සේ විසින් අපට නොයෙක් වර පෙන්නුම් කොට වදාරණ ලදී. ඒ අනුව බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයෙහි තම සිද්ධාර්ථ ජීවිතයෙහි මෑණියන් වූ මාතෘ දිව්‍යරාජයාණන්ට අනුග්‍රහ පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක්දෙවිඳුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් විසූ බව අපේ ශාසනික ඉතිහාසයෙහි සඳහන් වෙයි. තෙමසක් මුළුල්ලෙහි මාතෘ දිව්‍යරාජයාණන් ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමත් අවසන අසූකෝටියක් දෙවියන් නිවන් දුටු ආකාරයත් මාතෘ දිව්‍යරාජයාණන් සෝවාන් වූ බවත් එහි සඳහන්ව ඇත.


මෙසේ පුරා තෙමසක් තව්තිසාවෙහි වස් වසා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වස්පවාරණය කොට දඹදිව සංකස්ස පුරයට දෙව් මිනිසුන්ගේ පෙරහර මධ්‍යයෙහි අසිරිමත් පෙළහරින් යුතුව වැඩම කළේද අද වැනි වප් පොහෝ දිනයකය. මෙහිදී සැරියුත් මහරහතන් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේ විසින් යොමු කරන ලද න්‍යායාත්මක ප්‍රශ්න මාලාවකට දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ විසැඳුම් දේශනාවක් පැවැත්වීමද අසිරිමත් සිදුවීමකි. මේ සමඟම මෙහි රැස් වූ මහජන සමූහයා ඉදිරියෙහි, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවක මහා සංඝරත්නය අතරින් ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ශ්‍රාවකයාණන් වහන්සේ ලෙස සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳ ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර මහරහතන් වහන්සේ ලෙස අග තනතුරු ලැබුවේද අද වැනි වප් පුර පොහෝ දිනයකදීය.


එසේම මෙම අසිරිමත් වූ දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් බොහෝ ජනතාව බුදුබව ප්‍රාර්ථනා කළ ආකාරය පිළිබඳද අපේ ධර්ම සාහිත්‍ය මැනැවින් තොරතුරු වාර්තා කොට ඇත. මෙහිදී බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මහතෙරුන් අතර පැවැති ප්‍රශ්න විසර්ජන සාකච්ඡාවට සවන් දී සිටි මෛත්‍රි බෝසතාණන් වහන්සේ මහත් ප්‍රසාදයට පත්ව පැවිදි ජීවිතයට එළැඹ ඇත. මතු ලොව්තුරා බුද්ධත්වයට පත්වන මෛත්‍රි බෝසතාණන් වහන්සේ අප ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වූ දිනය වන්නේ ද අද වන් වප් පුර පොහෝ දිනයකි.


ශාසනයෙහි ප්‍රධාන පින්කම් අටක් පිළිබඳ සඳහන් වේ. එම පුණ්‍ය ක්‍රියා අතර ප්‍රථම පින්කම වන්නේ කඨින පූජා පින්කමයි. කඨින පූජා පින්කම හැම දිනකම හැම කාලයකම සිතූ පමණින් සිදුකළ හැකි පින්කමක් නොවේ. ඇසළ පුර පොහෝ දිනයෙන් ආරම්භ වන වස් කාල සීමාව තුළ වස් ශික්‍ෂා පදය ආරක්‍ෂා කරමින් කටයුතු කළ භික්ෂූන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය විය යුතු වෙයි. වස් පවාරණය සිදු කරනු ලබන්නේද වප් පුර පොහෝ දිනයේය. අද දිනයෙන් ආරම්භ වන කාල සීමාව ඉල් පුර පොහෝ දිනය තෙක් සීමාවන දින 29 තුළදි පමණක් වස් විසූ භික්ෂූන් සඳහා කඨින චීවර පූජාවන් සිදු කළ හැකි වේ. මෙම කාල සීමාවෙන් පෙර හෝ පසුව මෙම විශේෂ පින්කම සිදු කළ නොහැකිය. ඒ අනුව මෙම කාල සීමාව චීවර මාසය නමින් හඳුන්වනු ලැබේ. එසේ නම් ලොව පුරා මහා කඨින පූජා පින්කම් පවත්වමින් මහා ආනිශංස ලබා ගන්නා උතුම් පින්බර මාසයක ආරම්භක දිනය වන්නේද වප් පුණු පොහෝ දිනයයි.


මහින්දාගමනයෙන් පසු උන්වහන්සේගෙන් බණ අසා පළමුවෙන්ම මාර්ගඵල ලාභීන් බවට පත් වූයේ අනුලා දේවිය ප්‍රධාන ලාංකේය කාන්තා පක්‍ෂයයි. ඇතැම් අවස්ථාවල පිරිමි පක්ෂය අභිභවා ආගමික කටයුතුවල වැඩි උනන්දුවකින් ද යුතුව ක්‍රියා කරන කාන්තාවන් ප්‍රථමයෙන් ම මඟ ඵල ලැබීම සුවිශේෂි සිද්ධියකි. මාර්ගඵල ලාභී මෙම කාන්තාවන්ට සසුනෙහි පැවිදි බව ලබා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා භික්‍ෂුණි සංඝයා ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ද ඇති විය.


ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් දෙවැනි පෑතිස් රජතුමා විසින් අශෝක රජතුමා වෙත සංදේශයක් යවන ලදී. එයින් ප්‍රකාශ වූයේ අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය වැඩමවා ගැනීමේ අවශ්‍යතාව යි. ඒ සමඟ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩමවා ගැනීම පිළිබඳ ද සඳහන් කෙරිණි. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය සහිත ව තුටු පඬුරු රැගත් අරිට්ඨ කුමරු ඇතුළු රාජකීය දුත පිරිස අශෝක අධිරාජයා මුණ ගැසීම සඳහා පිටත්ව ගොස් ඇත්තේද අද වැනි වප් පුන් පොහෝ දිනයකය. අපේ කාන්තා පක්ෂයට ආශිර්වාදයක් වූ භික්‍ෂූණී ශාසනය මෙන්ම ලංකාවාසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුවක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීමෙහි කාර්යාවලියේ ආරම්භක දිනය වූ අද දවසෙහි වැදගත්කම අපේ වංශකතා මගින් මහත් අසිරිමත් ආකාරයෙන් යුතුව අනාවරණය කොට ඇත.


ලක්දිව සම්බුදු සසුන පිහිටියේදැයි දේවානම්පියතිස්ස රජු අසා ඇති ප්‍රශ්නයකට පිළිතුරු දුන් මිහිඳු හිමියන් පවසා ඇත්තේ මෙරට සිංහල මව්පියන් ඇතිව උපන් දරුවකු මෙහි පැවිදිව විනය ධාරිව මෙරටදී විනය උගන්වයිද එවිට ශාසනය මුල්බැස ගත්තා වන්නේ යැයි යනුවෙනි. ඒ අනුව, ප්‍රථම සිංහල මහරහතන් වහන්සේ වූ මහඅරිට්ඨ තෙරණුවන් ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණි. අනුබුදු මිහිඳු මහ හිමියන් ප්‍රමුඛ මහා අරිට්ඨ තෙරුන් ඇතුළු මහරහතන් වහන්සේ අටසැට නමක්, දහසක් බැගින් භික්‍ෂූන් සමග අනුරාධපුර ථූපාරාම විහාරයේදි විනය පිටකය සංගායනා කළේද අද වැනි වප් පුර පොහෝ දිනකය. මහා අරිට්ඨ මහරහතන් වහන්සේ විසින් සිදු කරන ලද මෙම විනය සංගායනාව ලක්බුදු සසුනෙහි විශේෂි අවස්ථාවක් ලෙස ශාසන ඉතිහාසය මගින් වාර්තා කොට තිබේ.


මහාපවාරණය, දේවාවරෝහණය, සැරියුත් තෙරුන් නුවණින් අගතනතුර ලැබීම, මෛත්‍රි බෝසතුන් පැවිදිවීම, අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස දඹදිව කරා ගමන් ආරම්භය, ලක්දිව ප්‍රථම විනය සංගායනාව ආදි අසිරිමත් ආගමික කටයුතු රැසක් සිදුවූ අද දිනය පිළිබඳ කරුණු දැන ගැනීම ඔබ හැමගේ ශ්‍රද්ධාව වැඩිදියුණු වීම සඳහා මහත් රුකුලක් වනු ඇත. වැඩිදුරටත් සැදැහැ ගුණ දියුණුවනු වස් දහම් ගුණ පිළිබඳ ද කරුණු විමසා බලමු.


‘ධර්ම’ යන වචනයට විවිධ අර්ථ ඇති අතර අප මෙහිදී කෙටි විමසීමකට ලක් කරනුයේ තථාගත ධර්මය පිළිබඳවයි. පර්යාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමූහය ධර්මස්ඛන්ධ වශයෙන් සුවාසු දහසක් වන බව ගණනය කොට ඇති අතර මුළු මහත් බුද්ධවචනය සූත්‍රපිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, වශයෙන් ත්‍රිපිටකය යන නමින් බෙදා දක්වා තිබේ. මෙයට අතුළත්ව සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන සිව් ආර්ය මාර්ගයනුත් සිව් ආර්ය ඵලයනුත් නිර්වාණ ධර්මයත් යන ධර්ම නවය නව ලෝකෝත්තර ධර්මය යනුවෙන් හැඳින්වේ. මෙහි තේරුම වන්නේ සත්වයන් සංසාර ලෝකයෙන් එතෙර කරවන්නේය යන්නය.


මේ හැරෙන්නට පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන්ද ධර්මයෙහි ආකාර තුනක් පිළිබඳ සඳහන් වේ. සූත්‍ර, විනය, අභිධර්මය යන පිටකත්‍රය පරියාප්ති නම්වේ. සිව් අපායෙන් මිදීම සඳහාත් දෙව්, මිනිස්, නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලැබීම සඳහාත් පිරිය යුතු ශාසනික ප්‍රතිපත්තිය, ප්‍රතිපත්ති ධර්මය ලෙස හඳුන්වනු ලැබේ. ආර්ය මාර්ග සතරත් , ආර්යඵල සතරත් නිර්වාණයත් යන නව ලොව්තුරු දහම් ප්‍රතිවේද ධර්මය ලෙසත් සඳහන්ව ඇත.


‘දරන්නා වූ’ යන අදහසින් ධර්මය නම්වේ. දැරීම නම් සතර අපායට සහ සසර දුකට වැටෙන්නට නොදී ආරක්‍ෂාව සැලසීමයි. ධර්මය අසමින් සිත්හි ධාරණය කර ගනිමින් ඊට අදාළ පිළිවෙත් පූරණය කරමින් ධර්මාවබෝධය ලබන්නන් ධර්මය දරන්නන් ලෙස දක්වා ඇත. මෙසේ ධර්මය දරන්නා වූ අය සතර අපායටත් සසර දුකටත් යා නොදී ආරක්‍ෂා කිරීම ධර්මයෙන් සිදුවන සුවිශේෂී කාර්යයක් ලෙස ධර්මයෙහි ඉතා මැනැවින් දක්වා ඇත. මෙවන් වු තථාගත ධර්මය ගුණ වශයෙන් ගත් කළ මූලික ගුණ හයක් වශයෙන් බොහෝ සූත්‍රවල දක්නට ලැබෙන අතර අපේ දහම් ගුණ පාඨයෙන් එය මනාව විවරණය කොට තිබේ. මේ අනුව අද දිනයෙහි වැදගත් කමද සිහිපත් කරමින් උතුම් ධර්මයෙහි හැසිරෙමින් නිර්වාණාවබෝධය සඳහා උත්සාහවත් වනු මැනැවි.


ඉල් (නොවැම්බර්)
“ඉල්” යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. හීල – සීතල යන අර්ථය ගෙන දෙයි. වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක්‌ මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස්‌ පිංකම් මාලාවේ අවසානය, මෙත් බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, සැරියුත් මාහිමියන්ගේ පිරිනිවන් පෑම, ශ්‍රී ලංකාවට දකුණු අකු ධාතුව සමග ධාතූන් වහන්සේලා වැඩමවීම මේ අතර වැදගත්ය.


වස්‌සාන සමය හෙවත් වස්‌ සාර මාසය ඈත අතීතයේ සිට බෞද්ධයා බොහෝ පිංකම් කරන කාලයකි. ප්‍රථම තුන් මාසයේදී පුංචි පුංචි පිංකම් කොට චීවර මාසයේදී ඉතා උසස්‌ ලෙස සිවුරු පූජා කිරීමේ කඨින මහා පිංකම සිදු කරයි. කඨිනාස්‌තරණය විනය කර්මය කළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්‌වක පොහොය දිනට යෙදේ.


පළමුවෙන් සම්බුදු සසුනේ පැවිදි වූ හැට දෙනා වහන්සේ ඇමතූ බුදුරාජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම පිටත් කර හැරියේ සම්බුද්ධත්වයට පත්වී එළැඹෙන පළමු ඉල් පුර පසළොස්‌වක පෝදාය.


එදා මගධයේ ගංගා නම් ගංගා නිම්නයෙන් පිටත්වූ සම්බුදු සසුනේ ධර්ම දූත තෙරවරු අද වන විට ගම් නියම්ගම් පසුකොට ලෝකයේ බොහෝ රටවල් සිසාරා ඉතා දියුණු ලන්ඩනයේ තේම්ස්‌ නදී නිම්නය දක්‌වා වැඩම කරවීමට සමත් වූහ.


ඈත දුෂ්කර ගම්මානවලට වැඩම කළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ දේශගුණයෙන් සිව්පසයෙන් වන සතුන්ගෙන් දුර්දාන්ත මිනිසුන්ගෙන් පැමිණි බොහෝ දුක්‌ගැහැට මැද බෞද්ධ ආරාම ඇති කළහ. එම ආරාමවල ප්‍රධාන විහාරාංගය වූයේ බණ මඩුවයි. සදාචාරසම්පන්න ඉතා හොඳ සිරිත් විරිත්වලින් යුක්‌ත ජනතාවක්‌ ඇති කිරීමට මෙම බණ මඩුව මහෝපකාරී විය.


මෛත්‍රි බෝසතුන් දෙව් ලොවින් චුතව අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සංකස්‌ස නුවර සිරිවඩ්ඩ නම් කෙළෙඹියාට පුත්ව ඉපදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් පැහැදී පැවිදිව නියත විවරණ ලබාගත්හ.


අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස· මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක්‌ ගිය තැන මම මේ ශරීරයේ බහන්නෙමිZයි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තමන් උපන් ගෙදරදී ඉල් පුරපසළොස්‌වක්‌ පොහෝදා පිරිවන් පෑහ.


ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල් සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමණ සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරාජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමග ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක්‌ පමණ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථම වරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.


උඳුවප් (දෙසැම්බර්)
වර්ෂයේ පුර පසළොස්වක පොහොය දොළහ අතරින් උඳුවප්පුර පසළොස්වක පොහොයට විශේෂ තැනක් හිමිවේ. දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවනු ලැබුවේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය. එසේම අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනකු සඟමිත් තෙරණිය වෙතින් පැවිදි බව ලැබීමෙන් මෙරට කාන්තා පැවිද්ද ආරම්භ වූයේද අද වැනි උඳුවප් පුර පසළොස්වක පෝදාකය.


අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් පසු අනුලාදේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙක් පැවිදි වීමට මිහිඳු මහරහතන් වහන්සේගෙන් අවසර අයැද සිටියහ. කාන්තාවන් පැවිදි කිරීමට විනයට අනුව තමන් වහන්සේට නොහැකි බවත් මේ සඳහා තම නැගණිය වූ සංඝමිත්තා තෙරණිය මෙ රටට ගෙන්වා ගත යුතු බවත්, ඒ සමඟම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවක් වැඩමවා ගෙන ආයුතු බවත් මිහිඳු හිමියෝ ප්‍රකාශ කළහ. ශාසනික අතින් මහත් වැදගත්කමක් මෙරටට හිමිවෙමින් පවතින බව අවබෝධ කරගත් දෙවන පෑතිස් රජු මේ ගැන තවදුරටත් මිහිඳු හිමියන්ගෙන් විමසීය. ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවක් මෙරටට වැඩම කරවීමත්, සඟමිත් තෙරණියගේ ආගමනයත්, යන කරුණු දෙක ගැන කටයුතු සංවිධානය කෙසේ විය යුතු දැයි විචාළේය.


“මහරජ මේ කරුණු දෙකම මගේ ඉල්ලීම් වේ.මේ ගැන මගේ පියා දම්සෝ රජුට දැන්විය යුතුය. එනිසා දූත පිරිසක් අද හෙටම මගේ පියාණන් මුණගැසීමට පිටත් කර යවන්න. මගේ ඉල්ලීමක් බව පිය රජුට කියන්න,”


දෙවන පෑතිස් රජු තම බෑණනුවන් වූ අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිසක් පිටත් කර යැවීය. දම්සෝ රජු තම පුතණුවන්ගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් සංඝමිත්තා තෙරණියත් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවත් ශ්‍රී ලංකාද්වීපයට එවීමට කටයුතු සංවිධානය කළේය.


ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ආයුධයක් භාවිත කොට ලබා ගැනීම අසීරු කරුණක් බව දැනගත් රජු මේ ගැන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් විමසීය.


“මහරජ, මෙහිදී ආයුධයක් භාවිත නොකොට ශාඛාව ලබා ගත හැකිය.බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයක් අනුව එය සිදුවෙන්නකි. මේ මොහොතේ ඔබ කළ යුතු වන්නේ සැදැහැ සිතින් බෝසමිඳුට පුද පූජා පවත්වා තෙලිතුඩකින් (පින්සලකින්) ඉරක් ඇඳීම පමණි. ශාඛාව තෙමේම සිඳි රන්කටාරමෙහි පිහිටයි “


ආශ්චර්යයකි. විවිධ ප්‍රාතිහාර්ය පාමින් ශාඛාව රන් කටාරමෙහි පිහිටියේය. මේ උතුම් ප්‍රාතිහාර්යන් දුටු ධර්මාශෝක රජු ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේට තම රාජ්‍යයෙන් පළමුව පූජා කෙරෙමියි අභිෂේක ජලය වත්කළේය.


මේ පුද පූජා හා උත්සවවලින් අනතුරුව දම් සෝ රජු දක්‍ෂිණ ශාඛාව සඟමිත් තෙරණියට භාර කොට තාම්බ්‍රලිප්ති නැව්තොට තෙක් මඟ සරසා බෝධින් වහන්සේගේ ආරක්‍ෂාවට හා විවිධ ආවතේව කටයුතු සඳහා කුල 18 ක ශිල්පීන් සමඟින් තාම්බ්‍රලිප්තියෙන් නැව්නංවා ලක්බිමට පිටත්කර එවීය. පිරිස රැගත් නැව නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවේ දඹකොළ පටුනට සේන්දුවිය.


දඹකොළ පටුන (ජම්බුකොල පට්ටාන) පිහිටා තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරෙහිය. (වර්ෂ තිහක් පුරා පැවැති යුද්ධය නිසා මේ ස්ථානය බැලීමට කෙනකුට එහි යා නොහැකිව තිබුණි. දැන් ඒ වෙත යා හැකි සාමකාමි වාතාවරණයක් උදාවී ඇත. විශේෂයෙන් පාසල් දරුවන් විසින් නරඹනු ලැබිය යුතු දර්ශනීය වෙරළ තීරයකි මේ ස්ථානය.)


මිහිඳු හිමි හා දෙවනපෑතිස් රජු ඇතුළු පිරිස ස¼ඟමිත් තෙරණියත් ශ්‍රී මහා බෝධි ශාඛාවත් පිළිගැනීමට දඹකොළ පටුනට ගොස් සිටියහ. රජතුමා කරවටක් මුහුදට බැස ශ්‍රී මහාබෝධි ශාඛාව හා රන්පාත්‍රය මහත් ගෞරවයෙන් පිළිගෙන හිස මත තබා ගොඩ බිමට පැමිණ එහි ඉදිකර තිබූ සමුද්දාසන ශාලාවේ තැන්පත් කළේය. පුරා දින තුනක් මේ ස්ථානයේ පූජාපවත්වමින් රජු දොරටුපාල වෙස්ගෙන ශ්‍රී‍්‍ර මහා බෝධි ශාඛාව ආරක්‍ෂා කළ බව වංශ කථාවල සඳහන් වේ. පසු කලෙක රජු විසින් මේ ස්ථානයේ විහාරයක් කරවනු ලැබ අෂ්ඨඵල රුහ බෝධි වහන්සේගෙන් එක්බෝධින් වහන්සේ නමක්ද රෝපණය කරවනු ලැබ ඇත.


මේ ස්ථානයෙන් ගමන ආරම්භ කළ පිරිස තිවක්ක බමුණුගමට ළඟා විය.අද තන්තිරිමලය නමින් හඳුන්වන්නේ මේ ස්ථානයයි. අනතුරුව එම ස්ථානයෙන් පිටත් වූ පිරිස දින හතරකින් අනුරාධපුරයට ළඟාවිය.


මිහිඳු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෝධි ශාඛාව මහ මෙවුනාවේ රෝපණය කරන ලදී. මේ උත්සවයට චන්දන ග්‍රාමයේ (හඳුන්ගම) සහ කාජරග්‍රාමයේ (කතරගම) ක්ෂත්‍රියවරුන්ද තිවක්ක බ්‍රාහ්මණයාද සහභාගි වී ඇත. මේ අවස්ථාවේ බෝධින් වහන්සේ අසූ රියනක් පමණ ආකාශයට පැන නැඟී ෂඩ්වර්ණ රශ්මි මාලාවක් විහිදවූ බවත් ඒ රශ්මිය ලංකාව පුරාම විහිදී ගිය බවත් වංශකථාවල සඳහන්ය. බෝධින් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵලරුහ බෝධින් වහන්සේ දිවයිනේ විවිධ ස්ථානවල රෝපණය කිරීම සඳහා වෙන් කෙරිණි. උතුරේ දඹකොළ පටුන, තිවක්ක බමුණූගම, ථූපාරාමය, කසුන්ගිරිය, පඨමක චෛත්‍යය සඳගිරිය, හා කතරගම ඇතුළු ස්ථාන අටක රෝපණය කර ඇත.


ශ්‍රී‍්‍ර මහා බෝධි ශාඛාව වැඩම කරවූ උඳුවප් පෝදා සිදුවූ අනෙක් සුවිශේෂිත සිදුවීම වන්නේ අනුලාදේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනකු සසුන් ගත කිරීමයි. සංඝමිත්තා තෙරණිය විශේෂයෙන් පැමිණියේ මේ කටයුත්ත සඳහාමය. ලක්දිව උපත ලද කාන්තාවක මුල්වරට පැවිද්ද ලැබීම ලංකා ශාසන ඉතිහාසයේ වැදගත්ම සිදුවීමකි.ඒ ස්වර්ණමය අවස්ථාවට හිමිකාරිය වූයේ අනුලා දේවියයි.මේ පිරිස විමානවත්ථූ, පේතවත්ථූ සහ සච්චසංයුත්ත යන ධර්ම දේශනා අසා මාර්ගඵල ලබාගත්හ.


හෙළ කත මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳ බඹරැන්දේ සිරිසීවලී හිමියන් විසින් කරනු ලැබ ඇති ප්‍රකාශය ඉතා වැදගත්ය.


“ලංකාවේ මෙහෙණි සස්න නො අරඹන ලද නම් මුළු රටේ ජනතාවගෙන් අඩක් පමණ වු කාන්තා වර්ගයා බලවත් බලාපොරොත්තු කඩවීමකට පත්විය හැකිව තිබිණි. එහෙත් මිහිඳු මාහිමියන්ගේ සදූපදේශ නිසා ආගම අතින් කාන්තාවන්ටද පුරුෂයන්ට සමාන තත්ත්වයක් ලැබිණි”


මේ ආකාරයෙන් සසුන් ගත වූ අපේ කාන්තාවෝ ත්‍රිපිටකධාරි , ධර්මධර, විනයධර ප්‍රඥාවන්ත පිරිසක් වූහ.අපේ රටේ එතෙක් අඩුවක්ව පැවැති භික්‍ෂුණී ශාසනය ඇතිවීමත් සමඟ භික්‍ෂූ භික්‍ෂුණී , උපාසක, උපාසිකා , යන සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත්විය. දෙවනපෑතිස් රජු භික්‍ෂුණි ශාසනයේ පැවැත්මට බෙහෙවින් කටයුතු කර ඇත. උපාසිකාරාමය සහ හත්ථාල්හක විහාරය ඇතුළු ගොඩනැගිලි 12 ක් වැඩ සිටීමට ඉදිකරදී ඇති අතර පොදුවේ දානය ගැනීම සඳහා මහාපාළි දානශාලාව ඉදි කෙරිණි.


භික්ෂුණීන් වහන්සේගේ සේවාවන් හා දැක්වූ දස්කම් ගැන දීපවංශයේ පැහැදිලි විස්තර ඇත.අපේ රටේ පමණක් නොව දෙස් විදෙස්හි පවා කිත්ගොස පැතිරගොස් තිබුණි. තිබ්බතය සහ චීනය, ආදි රටවල ධර්ම ප්‍රචාරක සේවාවන්හි නිරතවිය.දේවසාරා, භික්‍ෂුණිය ඇතුළු පිරිස මේ අතර ප්‍රධාන තැනක් ගනිති.


කාන්තා නිදහස සීමා වී පැවැති අවස්ථාවක ඒ තත්ත්වයෙන් ශ්‍රී ලාංකේය කාන්තා පරපුර මුදාගත් සංඝමිත්තා තෙරණිය ලක්දිව කාන්තාවගේ නළලත සැදි රන්තිලකයක් බදුවිය.


එතුමිය විසින් කාන්තාවන් වෙනුවෙන් කරන ලද උදාර මෙහෙවර නිරතුරු ගෞරවනීයව සිහිපත් කළ යුතුය. වර්ෂයකට වරක් උදාවන මෙවන් උඳුවප් පුර පොහෝ දිනයක, ඒ උත්තම නාමය වඩාත් කෘතවේදීව මෙනෙහි කොට තම ජීවිත ධර්මානුකූලව සකස් කර ගැනීමට වෙරදරන්නේ නම් මැනැවි. එතුමියට කරන ලොකුම පූජාවද ගරුත්වයද එයම වෙයි.

දෙහිවල නැදිමාලේ, බෞද්ධ 
සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ 
කිරම විමලජෝති හිමි
(උපුටා ගැනීමකි)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්