සිංගපූරුව ගැන මගේ කියවීම

වේදනාත්මක ආරම්භය


මැලේසියාවේ බහුතරය වූ මුස්ලිම් ප්‍රජාව ශක්තිමත්ව කොමියුනිස්ට් රජයක් ලෙස ඉදිරියට ගෙන යාමට 1965 මැලේසියානු පාර්ලිමේන්තුව
ඉතා තීරණාත්මක වගේම ඓතිහාසික තීන්දුවක් බහුතරයකින් සම්මත කරගත්හ.
ඒ එතෙක් කල් සිංගපූරුව හා එකට පාලනය වූ මැලේසියාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් පසු ප්‍රථම වතාවට වෙන්කර දැමීමට.
සිංගපුරු ප්‍රජාව වෙනම දේශයක් කෙරෙහි සතුටට පත්වුවත්,එවකට සිංගපුරු නායකයා වූ ලී කුවාන් යු දැඩි ලෙස අසරණ කරවීය.කෙසේ වුවත් සිංගපූරුවේ උපත එයයි.


අවසාන තීරණය විමසු ලී කුවාන් යූ මාධ්‍යය ඉදිරියට පැමිණ රුපවාහිනී තිරය මත ඇඩුවා.
ඒ මැලේසියාව කල වෙන් කිරීම නිසා ඇතිවුණු කනගාටුවත් තනිවම රටක් ලෙස ස්වභාවික සම්පත් කිසිත් නැති ,
ධීවර හා වෙළඳ පසුබිමකින් යුත් අඩු අධ්‍යාපනයක් ලැබූ තම රටවැසියන් සමග රට පාලනය කරගැනීමට යද්දී මුහුණ දෙන්නට සිදුවන දැවැන්ත අභියෝග හේතු කොටගෙන.


“මැලේසියාවෙන් වෙන්වීම කටුක වේදනාවක්.මගේ වැඩිහිටි කාලයේදී මට මේ රටවල් දෙක එකක් ලෙස දකින්න ඕන වුනා.මම විශ්වාස කලා එය සිදුවන බව.
අපිට නෑදෑයන් ලෙස ඉන්නට තිබුණා.” ඔහුට කියාගන්න පුළුවන් වුනේ එපමණයි.ඔහු මාධ්‍ය හමුව ටිකකට කල් දමනවා.


අවසානයේ ඔහු නිර්භීත ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

"හුඟක් දේවල් සුපුරුදු පරිදි සිදු වේවි.කලබල වෙන්න එපා.හදිසි වෙන්නත් එපා.අපි ජාතීන් ගොඩක් ඉන්න සංස්කෘතීන් ගොඩක් තියෙන රටක් බවට පත් වෙනවා.අපි ලෝකෙට උදාහරණයක් වෙනවා.සිංගපුරුව එක ජාතියකට පමණක් අයිති රටක් නෙමේ.මැලේ ,චීන හෝ ඉන්දියානු කාගෙවත් රටක් නෙමේ.මේක හැමෝගෙම රට බවට සමානව පත්වෙනවා.භාෂාව ,සංස්කෘතිය සහ ආගම් භේද වලින් තොර හැමෝටම නිදහස තියෙන එකම රටක් වෙනවා.අපි සිංගපූරු පුරවැසියන් වෙමු." ලී ක්වාන් යු - සිංගප්පුරු නිර්මාතෘ- අගමැති




ඔහු කියූ පරිදිම වර්තමානය වනවිටත් සිංගපුරුවේ ජාතික භාෂා හතරක් පවතී. රටේ ජාතික ගීය රචනා කොට ඇත්තේ මැලේ භාෂාවෙනි.චීන(බෞද්ධ) ,මැලේ , දෙමළ ප්‍රධාන නිවාඩු ජාතික නිවාඩු දින ලෙස නම් කර ඇත.අදටත් සිංගපුරු රජයේ ප්‍රබල අමාත්‍යදුර ඉන්දියානු සම්භවයක් සහිත නායකයින් දරනවා.නීතිපති Mr.V.K Raja විදේශ ඇමති Mr.Vivian Balakrishnan ඒ සඳහා හොඳ උදාහරණ සපයයි.




මහන්සියේ සහ කැපවීමේ ආනිශංස
1965 අගෝස්තු 9 වෙනිදා සිංගපූරුව වෙනම රටක් ලෙස ඉතාම දුර්වලව අරම්භවෙනවා.Yusof Bin Ishak පළමු ජනාධිපති ලෙසත්
LKY ප්‍රථම විධායක අගමැති බවටත් පත් වෙනවා.අදටත් සිංගපුරු $2 සහ $50 නෝට්ටු වල තියෙන්නේ ජනාධිපති ලෙස Yusof Bin Ishak ඔහුගේ රුපයයි.


නිදහසෙන් පසු සිංගපූරුව අපේක්ෂා කල පරිදිම ඉතා දුෂ්කර කාලයකට මුහුණ දෙන ලදී. සිදුවුනා.විරැකියාවෙන් යුත් මිලියන 3කට ආසන්න පිරිසක්,මුළු ජනගහනයෙන් 2/3 ජීවත් වූ පැල්පත්,මුඩුක්කු සහ අනවසර පදිංචිකරුවන් සමගින් සිංගපූරුව ප්‍රබල,එහෙත්(එවකට) සතුරු රටවල් දෙකක් මැද (මැලේසියාව සහ ඉන්දුනීසියාව) අසරණ වුණා.කිසිම ස්වභාවික සම්පතක්,සනීපාරක්ෂාවක්,යටිතල පහසුකම්,පිරිසිඳු පානීය ජල පහසුකම්වත්  ඔවුනට සෙවීම අපහසු වුණා.


කළ හැකිව තිබුණු එකම දෙය රට තුල කෙසේ හෝ කාර්මීකරණය තුලින් කම්කරුවන් මුලික කරගත් කර්මාන්ත ඇති කරගැනීමයි.එහෙත් අවාසනාවකට කාර්මිකරණ පුරුද්දක් සිංගපූරු මිනිසුන්ට තිබුනේ නෑ.චීනයෙන් සංක්‍රමණය වුනු සිංගපූරු වැසියන්ට පුරුදුව තිබුනේ ධීවර කර්මාන්තය සහ වෙළඳාම, ඒ ආශ්‍රිත සේවා පමණයි.
කෙසේහෝ අපහසුවෙන් නිෂ්පාදන කටයුතු ඇරඹුවද නිෂ්පාදන අලෙවි කරගැනීම උභතෝකෝටික ගැටළුවක් විණි..ඔවුනට අසල්වැසියන් මිත්‍ර නොවූ නිසා නිෂ්පාදන අලෙවියට විශේෂ කැපකිරීමක් කර අළුත් අසල්වැසියන් සොයා යන්නට ,විශේෂ ප්‍රාගුන්‍යය සහිත පිරිස් සොයාගන්නට කටයුතු යෙදිණි.ගෝලීයකරණය අත්හදා බලන්නට LKY(Lee Kuan Yew) තීරණය කලේ මේ නිසයි.ඊශ්‍රායලය තමන්ගේ අසල්වැසියන් අමතක කර ඇමෙරිකාව සහ යුරෝපය සමග ගනුදෙනු කළා සේම සිංගපූරුවටත් එවන්වූ දුෂ්කර අත්දැකීමකට මුහුණ දුන්නා.  


60 දශකයේදී දැඩි රැකියා විරහිත භාවයත්,නිවාස හිඟකමත් අභියෝග වුනු සිංගපූරු වැසියන්ට ඒකාධිකාරී බවට නැඹුරුවූ LKY පාලනය තුල අඩු නිදහසකින් වසර කීපයක් ගත කරන්නට සිදුවුනා.උදාහරණයක් ලෙස රටේ ජාතික,දේශපාලන හෝ ඒකීයත්වයට තර්ජනයක් වුනු සියළු දෙනා නව රජය තුල ඉක්මණින් සිරභාරයට ගන්න LKY පාලනය දෙවරක් හිතුවේ නෑ.මත්ද්‍රව්‍ය හෝ බරපතල දුෂණ කළ අය අනුකම්පා විරහිතව මරණීය දණ්ඩනයට ලක් කලා.අදටත් ඉතා මහළු වයසේ සිටින සිංගපූරු මිනිසුන් තුල LKY ගැන තිබෙන්නේ තරමක අවේගාත්මක හැගීමක්.තරුණ සහ ළමා පරපුර LKY ගැන දක්වන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් මතයක්.ඔවුන් ඔහු ගැන ආදරයෙන් හා භක්තියෙන් කථා කරනු අදටත් දැකගැනීමට පුළුවන්.ඇත්ත වශයෙන්ම LKY යනු ඔහුගේ පරපුරෙන් කෙසේ වෙතත් අනාගත පරම්පරාවෙන් පැසසුම් ලබන නායකයෙක්.


strath.ac.uk
නිදහස ලැබීමෙන් පළමු වසර හත ඇතුලත ඔවුන්ගේ රටේ මුළු නිෂ්පාදන ආයතන වලින් ¼ ක් ඇමෙරිකාව හෝ එහෙම නැත්නම් වෙනත් විදේශ රටකට හෝ එහෙමත් නැත්නම් විදෙස් රටක සම අයිතියකට හෝ යටත් වන්නේ මේ අතරයි.මේ වෙද්දී ඇමරිකාව සහ ජපානය සිංගපූරුවේ ප්‍රධාන ආයෝජකයින් බවට පත්වී හමාර වී තිබුණා.රටේ දළ දේශීය නිෂ්පාදන  ප්‍රතිශතය අංක දෙකේ අගයක පවත්වාගන්නට සිංගපූරුවට හැකි වුනා.


විදේශ ආයෝජන ක්‍රම ක්‍රමයෙන් රට තුලට එනවාත් සමගම සිංගපුරුව ඔවුන්ගේ නොදියුණු මානව සම්පත,යටිතල පහසුකම් දියුණු කර ගැනීමට උපක්‍රමශීලිව උත්සුක වුණා.ඒ සඳහා රට තුල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන්,ඉලෙක්ට්‍රොනික අංශයෙන්,බොරතෙල් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගැනීමට තාක්ෂණික විද්‍යාල පිහිටුවීම වැනි දේ තුලින් රටේ හැකියාවන් ගෙන් තොර මිනිසුන් හැකියාවන්ගෙන් ශක්තිමත් කරන්නට විදේශ සමාගම් සඳහා අධිකව මුදල් යෙදවූවා.එසේ වුවත් හැම මිනිසකුම ඒ අංශ වලින් ශක්තිමත් කිරීම ප්‍රයෝගික වුනේ නෑ.ඒ නිසා ශක්තිමත් කල නොහැකිවුනු පුරවැසියන් විකිණිය නොහැකි  සේවා වලට යෙදවීම ගැන රාජ්‍ය නායකයාගේ අවධානය යොමුවන්නේ මේ අතරතුරයි.සංචාරක ව්‍යාපාරය,ගමනාගමනය ඒ සඳහා උදාහරණ.අදටත් සිංගපූරුවේ කුලි රථ(Taxi) ධාවනය සඳහා අවසර ඇත්තේ සිංගපූරු පුරවැසියන්ට පමණයි.ඔවුන් කොතරම් විනයගරුකව රැකියාව කරනවාද කිව්වොත් ඔවුනට විරුද්ධව පැමිණිලි තුනක් ලැබුනහොත් ඔවුන්ගේ රැකියාව ඔවුන්ට සදහටම අහිමි වේ.(සාමාන්‍යයෙන් ඉහළ තලයේ වැටුපක් සහ දීමනා ඔවුනට රියදුරු රැකියාවෙන් ලැබෙනවා.උදාහරණයකට සිංගපූරු බස් රියදුරෙක් S$3500කට වැඩි වැටුපක් මාසිකව ලබනවා.)


සිංගපූරු රජය Central Provident Fund(Similar to EPF) වගේ රාජ්‍ය ආයතන හරහා සිංගපූරු පුරවැසියන්ගේ සෞඛ්‍ය සහ විශ්‍රාම දීමනා සුරක්ෂිත කරන්නට යොදාගනී.මේ ඉතුරුම් තැන්පතු කොතෙක්ද කිවහොත් ලෝකයේ තැන්පතු අනුපාතිකය අතුරින් ඉහලම තැනක පවතින්නේ 80 දශකයේ සිටයි.සිංගපූරුව තුල රාජ්‍ය සේවකයින් දැනට 143,000 පමණ ඉන්නවා.ඔවුන්ගේ සෞඛ්‍ය සේවා නගා සිටුවීමට ඔවුන්ගේ Central Provident Fund එකේ අරමුදලින් කොටසක්(ආසන්න වශයෙන් 20%ක් ) නැවතත් ඔවුන් වෙනුවෙන්ම රජය යොදවනවා.


රාජ්‍ය අංශය රටේ නවීකරණය සහ සංවර්ධනයේ උත්ප්‍රේරක ලෙස කටයුතු කරයි.(පෞද්ගලික අංශය සවිමත් කිරීමට රාජ්‍ය අංශයෙන් ණය පහසුකම් ලබා දීම මේ සඳහා හොඳ උදාහරණයක්.)Temasek Holdings සහ GIC Private Limited (Government Information Center) රටේ සංචිත පවත්වා ගැනීම සිදුකරයි.වර්තමාන අගමැති Lee Hsien Loong (ලී කුවාන් යූ ගේ පුත්‍රයා) සහ ඔහුගේ බිරිඳ මේ ආයතනවල සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස කටයුතු කරනවා.


Temasek සංකල්පය බිහි වීම


Temasek යනු ඉතා කුඩාවට අරම්භාවුණු රාජ්‍ය ව්‍යාපාරයක්.Singtel සහ Singapore Airlines යන ව්‍යාපාරවල කොටස් වලින් ඇරඹුණු මේ සමාගම පසු කාලීනව සිංගපූරුව සහ අසල්වැසි රටවල් වල ප්‍රධාන ලාභ ලබන ව්‍යාපාර සියල්ලගේම වගේ කොටස්(Stock Market shares) සහිත රාජ්‍ය ව්‍යාපාරයක් (අයිතිය සිංගපූරු මුදල් අමාත්‍යංශය) බවට පත් වුනා.වාර්ෂිකව සිංගපූරු අය වැයට ඩොලර් මිලියන 350කට  අධික මුදලක් ප්‍රධානය කරන්න තරම් මෙය ශක්තිමත්.මෙහි අධ්‍යක්ෂකවරු පත් කරන්නේ ජනාධිපති විසින්.වර්තමාන සභාපති වන්නේ අගමැති බිරිඳයි.ඇය ඉතා දක්ෂ උගත් සුදුසුකම් ලත් කාන්තාවක්.ලෝකයේ සිටින බලවත්ම කාන්තාවන් අතුරින් 15වන ස්ථානය හිමිවන්නේ ඇයටයි.

esri.com
මැලේසියාව සිංගපූරුව ප්‍රතික්ෂේප කර මැලේසියාවෙන් වෙන් කලත් එය අභියෝගයක් කොට ගෙන තව දුරටත් මැලේසියාව තමන්ගේ කිට්ටු හිතවතකු බවට පත් කරගෙන රටේ අභ්‍යන්තර කටයුතු දියුණුවට මැලේසියාවේ සම්පත් උපයෝගී කර ගැනීමට ලි කුවන් යු අගමැති වරයා බුද්ධිමත් වුවා.මැලේසියාව සිංගපූරුවේ දැනට සිටින විශාලතම වෙළඳ සහකරුවයි.තවමත් දිනපතා මැලේසියාවේ Johor Baharu(JB) සිට දිනපතා සිංගපූරුවේ රැකියාවට එන අය ඕනෑ තරම් දකින්න පුළුවන්.රටවල් දෙක යා කරමින් තැනුණු පාලම හරහා පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන ක්‍රම වලින් දිනපතා මැලේසියානුවන් සිංගපූරුවට ගමනාගමනය සිදුවනවා.සිංගපූරු වැසියන්ද පාරිභෝගික අවශ්‍යතා වගේම අඩුමිල ඉන්ධන සඳහාත් මැලේසියාවට නිතර ගමන් කරනවා.මේ දෙපිරිසම සඳහා විශේෂ ආගමන විගමන කවුළුවක් Johor Baharu දේශ සීමාවේ තියෙනවා.වසර 2012 වනවිට ඩොලර් බිලියන 90 ඉක්මවන ප්‍රමාණයේ වාර්ෂික වෙළඳ ගනුදෙනු මේ අසල්වැසි රටවල් දෙක අතර සිදුවී තිබුණා.


singapore-guide.com
මැලේසියාවට අමතරව තමන්ගේ සෑම අසල්වැසි රටක් සමගම දැන් සිංගපූරුව රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගැනීමට  සමත් වී සිටිනවා.උදාහරණයක් ලෙස තායිලන්තය,ඉන්දුනීසියාව,පිලිපීනය,ජපානය,දකුණු කොරියාව වගේ සෑම රටකින්ම පැමිණි සේවා නියුක්තිකයින් අති විශාල ප්‍රමාණයක් සිටින නිසා ඔවුන්ට තමන්ගේ වැටුප් ආදායම් බැංකු සේවා මුදල් අයකිරීම් වලින් තොරවම තමන්ගේ රටවලට යවන්න පහසුකම් සපයා තිබේ.ඒ අතරම මේ රටවල් සමග ඉතාම මිත්‍රශීලීව කටයුතු කරන්නටත් සිංගපූරුව කටයුතු කරයි.එහි එක් ප්‍රධාන අරමුණක් වන්නේ සිංගපුරුවේ ආරක්ෂාව.තමන්ගේ රට තුලට ඇවිත් පහරදීමට තිබෙන අවස්ථා ඉතාම අඩුබව සිංගපූරු ආරක්ෂක අංශ හොදින් දැනුවත්.ඒ නිසා අසල්වැසි රාජ්‍යක සිට තමන්ගේ රටට ප්‍රහාර එල්ලවීම වැලැක්වීම සඳහා මේ මිත්‍ර සම්බන්දතා ඔවුන් පාවිචිචි කරනවා.ඉතාම විධිමත් විදේශ හමුදා පුහුණු සැසි නිරතුරුවම සිංගපූරුවේ සිදුවනවා.වනාන්තර වලින් තොර සිංගපූරුවේ හමුදා පුහුණු අපහසු නිසා බෘනායි (Jalan Aman Camp) වැනි රටවල පුහුණු සැසි සඳහා ඔවුන් සහභාගී වනවා.අසල්වැසි රටවල් වල ඝන වනාන්තර පවතින නිසා අවශ්‍ය විටකදී තමන්ගේ මිතුරු අසල්වැසි රටක යුද්ධයක් ඇතිවුවහොත් එහි ගොස් ඔවුන්ට යුධ ආධාර කිරීමට මේ පුහුණු සිංගපූරු හමුදාවන්ට වැදගත්.සෑම පවුලකම අවුරුදු 16ක පිරිමි දරුවෙක් වසර දෙකක සන්නද්ධ යුධ පුහුණුව සඳහා සහභාගීවීම අනිවාර්යයයි.සාධාරණ හේතුවකින් තොරව යුධ පුහුණුව මග හරින පිරිමි ළමුන්ට සිංගපූරු පුරවැසිභාවය පවා අහිමි වීමේ අවධානම පවතිනවා.


සිංගපූරුවට ප්‍රධාන වශයෙන්ම යුධඅවි සපයන්නා එක්සත් ජනපදයයි.නවීනතම ගුවන්, නාවික සහ යුධ හමුදා උපකරණ වලින් සිංගපූරුව සන්නද්ධයි.සිංගපූරුවේ වැඩිම වෙළඳ ව්‍යාපාර(40%) පවත්වාගෙන යන්නේ ඇමරිකාව වීම සමහරවිට එයට හේතුවක් වන්නට පුළුවන්.එක්සත් ජනපදයේ වෙළඳම් අතරෙන් 15 වැනි තැන දැන් සිටින්නේ සිංගපූරුවයි.සිංගපූරු ආර්ථික සංවර්ධන මණ්ඩලය Singapore Economic Development Board (EDB) රටේ ආයෝජන වැඩි කිරීමට දැවැන්ත උත්සාහයක නිරතවෙනවා.



globalmilitaryreview.blogspot.com

සිංගපූරුවේ සීග්‍ර සංවර්ධනයට බලපෑ කරුණු විදිහට කිහිපයක් ඇත.
1.විදෙස් ආයෝජන අවස්ථා සහ ලෝක පුජිත රැකියා නියුක්තිකයින්.
2.ඉතා සහනදායි සහ විනිවිදභාවයෙන්යුතු බදු.
3.කාර්යක්ෂම සහ දුෂණයෙන් ඉතාම අඩු රාජ්‍ය නිලධාරීන්.
4.ශක්තිමත් නීති රෙගුලාසි.
5.ඇමරිකාව සහ චීනය ප්‍රධාන කොටගත් අසල්වැසි කලාපීය රටවල් සමග ඇති මිත්‍රශීලි රාජ්‍ය සම්බන්ධතා.
6.ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහල පාසැල් /විශ්වවිද්‍යාල.
7.අතිශයින් කාර්යබහුල හා කාර්යක්ෂමවරායක් පැවතීම.
(මෙය දෙවැනි වන්නේ චීනයේ ෂැන්හයි වරායට පමණයි)
8.විවෘත ආර්ථික ප්‍රතිපත්තිය


(විවෘත ආර්ථිකය තමන්ගේ අවශ්‍යතා අනුව යොදාගත් රටක් ලෙස සිංගපූරුව නම් කරන්න පුළුවන්.)

Imported Vegetables
Imported Country
Leeks,Lettuce,Celery
China,Taiwan,Malaysia
Asparagus
Thailand
Strawberries
Korea,California,Egypt, Australia and New Zealand
Coconut,King Coconut
Malaysia
Crabs
Sri Lanka,Australia
Rice
India,Thailand,Japan,China,USA


9. ලෝකයේ හොඳම ගුවන් තොටුපළ ලෙස අභිෂේක ලැබූ(Skytrax World's Best Airport Award) Changi ගුවන් තොටුපළ.වසර 2012 සිට මේ දක්වා(වසර පහක් පුරාවට) අඛණ්ඩව ලෝකයේ හොඳම ගුවන් තොටුපළ ලෙස Changi ගුවන් තොටුපල නම් දරයි.

(ආරම්භයේදී Changi ගුවන් තොටුපළ වෙනුවට ඉදිකර තිබු Paya Labar ගුවන් තොටුපළ ප්‍රමාණවත් නොවන නිසා එය ගුවන් හමුදා ගුවන් තොටුපලක් ලෙස නම් කර ඇත.Changi ගුවන්තොටුපල පර්යන්ත (Terminal) හතරකින් සමන්විත ලෝකයේ දැනට ඇති ඕනෑම විශාල ගුවන් යානයක් ගුවන්ගත කිරීමට තරම් පොහොසත්.).

10.සමුද්‍ර වෙළඳාම් සම්බන්ධව ඇති ආරක්ෂාකාරී බව,කාර්යක්ෂම ප්‍රති නැව්ගත කිරීම් හා ඉන්ධන පහසුකම්.
11.යහපත් ආණ්ඩුකරණය.(1965 සිට මේදක්වා සිංගපූරුවේ පාලනය ගෙනයන්නේ එකම පක්ෂයයි -Peoples Action Party ඒ නිසා රාජ්‍යයක් ලෙස ඔවුන් දේශපාලනව  ස්ථාවරයි.)
12.රාජ්‍ය භාෂා 4ක් පැවතීම.(Mandarin Chinese,දෙමළ,මැලේ,ඉංග්‍රීසි) සහ සංස්කෘතීන් කිහිපයක මිනිසුන් සාමයෙන් ජීවත් වීම.
13.දිනපතා උසස්වන ජීවන තත්වය උසස් කිරීමට තව දුරටත් value added Services,නිවාස එකතු වීම.
14.සියළු වෘත්තීය සමිති එකතු කර NTUC (National Trades Union Congress) ආයතනය බිහි කරවීම නිසා තනි තනිව වෘත්තීය සමිති සඳහා අරගල කිරීමට කිසිවකු අපොහොසත්.මේ නිසා වැඩ වර්ජන ඉතාම අඩුය.
(NTUC වර්තමාන කර්මාන්ත ජාලයකි.ඉන්ධන පිරවුම්හල් ,සුපිරි සාප්පු සංකීර්ණ පවා NTUC සතුව ඇත.)
15.වාර්ෂික වර්ධන වේගය 6.81% පමණ අගයක 80 දශකයේ සිට ස්ථාවරව  පවත්වාගෙන යාම.

16.වාර්ෂිකව මිලියන 15කට අධික සංචාරකයින් ආකර්ෂණය. මෑතකදී විශාල කැසිනෝ ශාලා ඉදිකිරීමට කටයුතු යෙදිණ.(Marina Bay Sands , Resort World Sentosa )
17. සීමිත ඉඩ ප්‍රමාණය විධිමත්ව පාලනය කරන නිවාස සංවර්ධන අධිකාරිය (Housing Development Board) සතු තට්ටු නිවාස.(මෙම තට්ටු නිවාස 99 අවුරුදු බදු මත ලබාදෙන අතර නිවාස හිමියාට සදාකාලික අයිතියක් නැත.)
18.දැඩි නීති පද්ධතිය.විනය කඩවීම් ,මැරකම් ,වංචා සිංගපුරුව තුල ඉතාම අඩු සුරක්ෂිත රටකි.
උදාහරණ ලෙස මත්ද්‍රව්‍ය හෝ බරපතල දුෂණ සඳහා මරණ දඬුවමට වුවද ලක්විය හැකිය.ඊට අමතරව Chewing Gum රටපුරා තහනම්ය.වෙළඳසල් වල මත්පැන් වෙළඳාම එක්තරා ප්‍රදේශ අනුව නියමිත වේලාවන් වලට පමණක් සීමා කර ඇත.පොදු ප්‍රවාහන සේවා වලදී ඔබට ආහාර ගැනීම තහනම්ය.නිවාස සංකීර්ණ ආශ්‍රිත ප්‍රදේශවලදී හැර අන් ප්‍රදේශ වලදී අක්‍රමවත් පාරවල් මාරු වීම් සඳහා විශාල දඩ මුදල් අය කෙරේ).
19. විශිෂ්ඨ බැංකු පද්ධතිය.(පහසු බදු ක්‍රම නිසා සුවිස්ට්සර්ලන්ත බැංකු පවා  සිංගපූරුවට මෑතකදී ගෙන එන ලදී)
20.බහු ජාතික සමාගම් 3000කට අධික සංඛ්‍යාවක් මේ කුඩා දිවයින තුල පවතී.
(සිංගපූරුවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 300 ඉක්මවන්නට මෙමගින් උදව් වෙනවා.මෙය ලෝකයේ ¾  අගයට වැඩි වෙනවා.60 දශකයේදී එය ඩොලර් 320 පමණ අඩු අගයක පැවතිණ)

පිහිටීම සහ ජනගහනය
සිංගපූරුව 277.3 mi² වන ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කය(270 mi²) තරමේ රටක්.ජනගහණය අනුව ලංකාවේ ජනගහනයෙන් ⅕ ක් සිංගපූරුවේ ජනගහනයට සමාන වේ.සිංගපූරුව ශ්‍රී ලංකාවටත් වඩා සමකයට වඩාත් ආසන්න රටක්.ඒත් ශ්‍රී ලංකාව තරම්ම දැඩි සුර්ය තාපයක් සිංගපූරුවට වැටෙන්නේ නෑ.ඒකට ප්‍රධාන හේතුව රට වටේම ඇති පටු මුහුදු තීරය.(ගොඩබිම් සමීපව තිබීම) මේ නිසා වියළි සුළං රට හරහා යාම නිසා උෂ්ණත්වය ස්ථාවර අගයක පවතිනවා.එයට අමතරව තවත් වාසියක් ඔවුනට එමගින් සැලසෙනවා.ඒ ස්වභාවික විපත් කිසිවකින් හානියක් සිදු නොවීම.උදාහරණයක් වශයෙන් 2004 වසරේ සුනාමි තත්වයෙන් ඉන්දුනීසියාව,ශ්‍රී ලංකාව,ඉන්දියාව ,තායිලන්තය,පිලිපීනය වැනි රටවල් බරපතල ලෙස හානියට පත්වුනත් ගොඩබිම් වලින් ආවරණය වුනු සිංගපූරුවට කිසිම අලභා හනියකින් තොරව බේරෙන්නට හැකි වුණා.  

මාර්ග පද්ධතිය
PIE(Pan Island Expressway) :සිංගපූරුව සතු දිගම සීග්‍රගාමී මංතීරුව මෙයයි.දුර  50KM.
ECP (Eact Coast Parkway)      :සිංගපූරුව සතු දෙවන දිගම සීග්‍රගාමී මංතීරුව මෙයයි. 20KM.
MRT(Mass Rapid Transit)    :සිංගපූරුව සතු වේගවත් දුම්රිය සේවය මේ නමින් හැඳින්වේ.සියලු ප්‍රධාන නගර යා කරමින් කුළුණු උඩ සහ උමං ඇතුලෙන් මෙම දුම්රිය ගමන් කිරීමට සමත්.නවතම දුම්රිය රියදුරෙක් රහිතව වුවද ආරක්ෂාකාරීව මේවා ගමන් කරනවා.(DownTown Line )
LRT(Light Rail Transit)      :MRT වලට වඩා කුඩා දුම්රියක් මේවගේ ධාවනය වේ.ප්‍රධාන නගරවලින් ගොඩක් ඈත ස්ථාන වල මේවා දැක ගත හැකියි.

බොරතෙල් ආශ්‍රිත නිෂ්පාදන(Esso,Exxon Mobil Companies),කෑම බීම වර්ග ,නිමි ඇඳුම් ,රසායන ද්‍රව්‍ය (GlaxoSmithKline, Pflizer, and Merck & Co Companies),ඉලෙක්ට්‍රොනික උපකරණ,ගුවන් විදුලි සන්නිවේන උපකරණ වගේ දේවල් මේ රටේ ප්‍රධාන ආනයන /අපනයන විදිහට සැලකෙනවා.ඒ වගේම ඉහත සඳහන් දේවල්ම ප්‍රතිඅපනයනයත් සිංගපූරුව සිදු කරනවා.
blog.smrt.com.sg

මාර්ග තදබදය Certificate of Entitlement (COE) තුලින් කළමනාකරණය



සිංගපූරුවේ පොදු ප්‍රවාහනය රජය බෙහෙවින් දියුණු කරන අතර ඒ සඳහා ජනතාව උනන්දු කරනවා.උදාහරණයක් ලෙස උදෑසන 7ට පෙර පොදු ප්‍රවාහන පහසුකම් වට්ටම් සහිතව ජනතාව දිරි ගැන්වීම සඳහා සපයනවා.කාර්යබහුල කාලවලදී ගමනාගමනය අධෛර්යමත් කිරීම සඳහා අමතර මුදලක් අය කරනවා.(Peak hours and Off peak hours).Certificate of Entitlement or COE යනු පෞද්ගලික වාහනයක් පාරේ ධාවනය සඳහා අවශ්‍ය සහතිකය.මෙය Quota පදනමක් මත Bid ක්‍රමයකට නිකුත් කරන අතර බලපත්‍රයක් මුලිකව වසර 10ක කාලයකට පමණක් වලංගු වෙනවා.වසර 10 හෝ 15 අවසානයේ මේ වාහන වෙනත් රටවල් සඳහා ප්‍රති අපනයනය කරනවා.ජපානයට පසු වැඩිපුරම වාහන අපනයනය කරන රටක් ඇත්නම් ඒ සිංගපූරුවයි.මෙයින් පරිසර දුෂණය සහ වාහනවල නඩත්තු දෝෂ බොහෝ දුරට ස්වයන්ක්‍රීයව අඩු වෙනවා.ඕනෑම වාහනයක් සිංගපූරුවට ගේන්න පුළුවන් පාවිච්චි නොකරනලද (Brand new) වාහනයක් විදිහට පමණයි.
උදා :Mercedes-Benz C200K 2007 නිෂ්පාදිත රථයක් රුපියල් ලක්ෂ  87 පමණ වෙනවා.
       Mazda 3 SG Price : රුපියල් ලක්ෂ 95
COE සහතිකයක මිල S$45,000 පමණ වෙනවා.මෙය වාහනයේ මිලට අමතරව අයිතිකරු විසින් දැරිය යුතු වියදමක්.


බලශක්ති
90% ක් පමණ ශක්තිය තෙල් වලින් නිපැයෙන අතර ඉතිරිය ස්වභාවික වායුව තුලින් නිපදවෙනවා.ඉදිරියේදී කාම්බෝජය සමග ජල විදුලිය ලබා ගැනීමේ ක්‍රම වේදයකට සිංගපූරුව අත්සන් තැබීමට නියමිතයි.සිංගපූරු ඛනිජ තෙල් පිරිපහදු වලින් 50% Caltex සමගම සතු වෙනවා.
Jurrong Island එකේ තෙල් බැරල් 55ක් පමණ ගබඩා කිරීමේ හැකියාවක් තියෙනවා.සිංගපූරුව සතුව තිබෙන්නේ පිරිපහදු 3ක් පමණයි.දිනකට තෙල් බැරල් 1500ක් පමණ රටේ පරිභෝජනය සඳහා වැය වෙනවා. 80% පමණ වන ශක්තිය සිංගපූරුව ලබා ගන්නේ මැලේසියාවෙන් සහ ඉන්දුනීසියාවෙන්.


ජලය
1962 සම්මත කෙරුණු පනතට අනුව සිංගපූරුවට මිලියන ගැළුම් 250ක වතුර මැලේසියාවේ Johor River එකෙන් ගන්න සිංගපූරුවට අයිතිය තියෙනවා.(මේ සිංගපූරුවේ දෛනික පරිභෝජනයෙන් 60%ක්).ඒ වුනත් 2060 වෙද්දී වතුර ප්‍රශ්නෙන් මිදෙන්න සිංගපූරුව බලාපොරොත්තු වෙනවා.ඒ තමන්ගේ වතුර තමන් විසින්ම නිපදවා ගැනීම හරහා.


නීතිය
2000 වසරේ සිට 2015 වසර වනවිට නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන් 5000 කින් අඩු කරන්නට “මරණ දඬුවම ” සිංගපූරුවට උපකාරි වුණා.මේ පුවත්පත් උදාහරණ නීතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අවබෝධයක් ගන්න උදව්වක් වේවි.
මාස කිහිපයකට ඉහතදී taxi රියදුරකුට සුළු තුවාල සිදුවන්නට පහර දුන් වරදකට මගියෙක් සති 6ක සිර දඬුවමකට (හෝ S$5000ක් දඩයක්) ලක් වුනු සිදුවීමක් මාධ්‍ය වාර්තා කර තිබුණා.
සුරතලයට ඇතිකළ කුරුල්ලෙකුට හිරිහැර තාඩන පීඩන කල නිවසියකුට S$15000ක් දඩ(නැත්නම් අවුරුදු 3ක් සිර දඬුවම) නියම වුණා.ගෙදරක ඇති කළ පූසෙක් නිදැල්ලේ යාමට ඉඩ හැරි නිවසියකුට s$10000ක දඩයක් නියම වුනා.නිදැල්ලේ යන සතුන් ලෙඩ රෝග සඳහා ගොදුරුවීම ,අනවශ්‍ය පැටවුන් බෝවීම සහ ඔවුන් මරණයට පත්වීම වැනි කාරණා ඒ තරම් දඩ ප්‍රමාණයක් අය කිරීමට හේතුවයි.
S$8500  පමණ මුදලක් සොරකම් කල අයකුට අවරුදු 14කට හිර දඬුවම් සහ අමතරව කස පහරවල් 12ක් පමණ නිර්දේශ වීම සිදු වුණා.

වරදක් කරපු විත්තිකරුවෙකුට ඒ කරපු වරදට අමතරව කස පහර නියම කිරීමේ බලය විනිසුරුට ඇත.බන්ධනාගාරය තුල ප්‍රසිද්ධ නොවන ලෙස විශේෂ ඇඳුමකින් සරසන ලද සිරකරුගේ අත් සහ පාද විලංගු දැමීමක් සිදු කරයි.(දඬු කඳේ ගසනවාට ඉතා සමානව).එක පහරක් සහ ඊළඟ පහර අතර පරතරය තත්පර 15ක උපරිම වෙලාවකට යටත් වේ.දඬුවම් ලබාදෙන වෙලාවතුල වෛද්‍ය නිලධාරියෙක් දඬුවම විත්තිකරුට ඔරොත්තු දෙන ප්‍රමාණය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු අතර කුමන හෝ හේතුවකට  විත්තිකරුට දඬුවම තව දුරටත් විදින්න බැරි නම් වෛද්‍යවරයා විසින් බන්ධනාගාර නිලධාරියාට ඒ බව දැනුම් දියයුතු වෙනවා.එසේ නොවන්නට විත්තිකරුට දඬුවම නොකර සිටීමට වෙනත් කිසිඳු හේතුවක් නෑ.අදාළ කස පහර ප්‍රමාණය විඳීමට සෞඛ්‍යමය හේතුවක් මත (වෛද්‍ය නිර්දේශය මත අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්ව මත ) විත්තිකරු අසමත් වුවේ නම් ඒ ඉතිරි කසපහර ප්‍රමාණය තවත් වැඩිපුර කාලයක් ලෙස ඔහුගේ සිර කාලයට එක්‌ වේ.රථ වාහන එලවීමේදී 24 වතාවක්‌  cameras වලට අහුවෙන්න ලොකු වැරදි කලොත් license එක අහෝසි කිරීමට නීති සවිමත්.

දේශපාලනය
සිංගපූරු වැසියන්ට ඡන්දය භාවිතා කිරීම අනිවාර්යයි.මුළු ඡන්දදායකයින් ගණන ලක්ෂ 20ක් පමණ වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 89යි.කැබිනට් මන්ත්‍රීවරු 18යි.සාමාන්‍යයෙන් මේ මන්ත්‍රීවරයකුට ඉතා ඉහල අධ්‍යාපන සුදුසුකම් සහ අවම වශයෙන් වසර දහයක රැකියා අත්දැකීම් තියෙනවා.පාර්ලිමේන්තු ආයු කාලය වසර 4යි.

සිංගපූරුවේ දේශපාලඥයින් ඉතාම ඉහල අධ්‍යාපනයක් ලැබූ දක්ෂතා වලින් සපිරි අය.බොහෝ දෙනෙක් නමගිය ව්‍යවසායකයින් ,එහෙමත් නැත්නම් කීර්තිමත් නීතිඥයින් හෝ වෛද්‍යවරුන්.ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ් වැනි අග්‍රගන්‍ය විශ්වවිද්‍යාල වලින් බිහිවුවන්.උදාහරණයක් ලෙස ආරම්භක අගමැති LKY නීති විශාරදයෙක්.ඔහු අධ්‍යාපනය ලබන්නේ එංගලන්තයෙන්.ඔහුගේ බිරිඳ ඔහුටත් වඩා ඉගෙනීමට දක්ෂයෙක් බව ඔහු විසින් රචිත “The Story Of Singapore” කෘතියේ සඳහන්.එහි සඳහන් පරිදි ඇය උසස් පෙළ හදාරන වර්ෂයේ මුළු මැලේසියාව සහ සිංගපූරුව යන රටවල් දෙකෙන්ම විශිෂ්ඨතම ප්‍රථිපල වාර්තා කර ඇත්තේ ඇයයි.පසු කාලීනව ප්‍රේම සම්බන්ධයකින් ලී කුවාන් යූ ඇය හා විවාහ වෙනවා.ඔවුන්ගේ වැඩිමහල් පුතුට (වර්තමාන සිංගපූරු අගමැති Lee Hsien Loong) C++ පරිඝණක භාෂාවෙන් Sudoku program එකක් පහසුවෙන් ලියන්නට තරම් දක්ෂකම් ඇත්තෙක්.


සිංගපූරුව තුල ඉතා ඉහළ සමාජ ස්ථරවල ප්‍රවීනයන්,ඔවුන්ගේ වැටුප් සඳහා අතිවිශාල මුදලක් සිංගපූරු රජය විසින් දරනවා.උදාහරණයක් ලෙස වර්තමාන අගමැතිගේ මාසික වැටුප S$2.2 Million.


ජාතිවාදය වගේ රැළි වරින් වර ලෝකේ පුරාම මතුවෙද්දී රට ඇතුළට ඒවා එන එක වළක්වන්න බොහෝ දුරට දේශපාලඥයින් වගබලා ගන්නවා.“85% වන ජනගහනය ඉස්ලාම්/මුස්ලිම් භක්තිකයන් පිලිබඳ අනවශ්‍ය බියක් ගොඩ නගාගතහොත් ත්‍රස්තවාදයට අවශ්‍යම දේ එයයි.සුළුතර මුස්ලිම් ජනතාවට දැනුනොත් අනෙකුත් ජනගහනය තමන් පහත්කොට සලකන බව හෝ කොටුකර තබන බව, එය තමා ත්‍රස්තවාදයේ බීජය වැපිරීම. ” -කේ.ෂන්මුගම්-සිංගපූරු නිවාස සහ නීති කටයුතු අමාත්‍ය


“සිංගප්පුරු වැසියන් කලයුත්තේ තමන්ගේ නිවසට අසල්වැසි මුස්ලිම් ජනතාව හා සමාජගත වීමයි.ඔවුන් මුස්ලිම් සිංගප්පුරු ජන කොටසක් නොව සිංගප්පුරු මුස්ලිම් ජන කොටසක් බව අවබෝධකරවීමයි. “
ලී ක්වාන් යු - සිංගපූරු නිර්මාතෘ අගමැති


නිවාස
බිම්ගත 14,000sqft නිවසක මිල  රුපියල් ලක්ෂ 10,000ක් පමණ වෙනවා.(At Tanjong Katong)
මේවගේ ගෙවල් සිංගපූරුව තුල ඉතාම දුබලයි.බොහෝ දුරට තිබෙන්නේ අහස උසට ඉදිවුණු තට්ටු 12-18 වගේ මහල් නිවාස සංකීරණ.මේ වගේ නිවාස සංකීර්ණයකට පොදු වෙළඳසලක් ,ආපනශාලා කිහිපයක් ,පොඩි ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සමහරවිටක පිහිනුම් තටාකයක් ,BBQ unit එකක්,ක්‍රීඩා පිටියක් ,ළමා උද්‍යානයක් ඇතුලත් වෙනවා.

willietan.com
සෞඛ්‍ය
මිලියන 5.5ක් වන සිංගපූරු ජනගහනයෙන් මිලියන 1.6කම ස්ථාවර නොවන පදිංචිකරුවන්ය.(Non -PR )සිංගපූරු වැසියන්ගේ ආයුකාලය අවුරුදු 83 ඉක්මවනවා.ලෝකෙන්ම බැලුවොත් එය තුන්වෙනි තැන.විදේශිකයින්ට අධ්‍යාපනය,සෞඛ්‍ය වගේ පහසුකම් මිළ ඉතාම අධිකයි.ඒත් සිංගපූරු පුරවැසියන්ට හෝ ස්ථිර පදිංචිකරුවන්ට රාජ්‍ය සහන මේ සඳහා ලැබෙනවා.ඒ නිසා ඉතාම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සිංගපූරුව තුල ක්‍රියාත්මකයි.රජයේ රෝහල් මෙන්ම Mt Elizabeth වැනි අති සුඛෝපභෝගී රෝහල් සිංගපූරුවේ තිබෙනවා.ලෝකයේ ප්‍රභූවරු ,සුපතල ක්‍රීඩා තරු සහ ධනවත් පුද්ගලයින් මේ රෝහල් සඳහා ඇතුලත් වෙනවා.

රැකියා අවස්ථා

තමන්ගේ රටේ පුරවැසියන්ගේ ජීවන තත්වය උසස් කරන්නට සිංගපූරු රජය හැමවිටම ක්‍රියා කරනවා.ඒකෙ ප්‍රථිපලයක් විදිහට අධික ශ්‍රමයක් අවශ්‍ය පහළ වෘත්තීන්(පෙදරේරු,අත් උදව්,මාර්ග ඉදිකිරීම්,ගොඩනැගිලි ඉදිකිරීම්,කසළ ශෝධක රැකියා) සියල්ලෙන් සිංගපූරු වැසියන් ඉවත්කර ඒ වෙනුවට ඉතා පහළ වැටුපට(පැයකට S$2-S$3) විදේශ රටවල(බංගලිදේශය,ඉන්දියාව,ශ්‍රී ලංකාව,පිලිපීනය,වියට්නාමය)ශ්‍රමිකයින් ගෙන්වා ඔවුන්ගෙන් එම අවශ්‍යතාවය ඉටු කරගන්නවා.ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පමණක් 360000 ක පමණ කම්කරුවන් පිරිසක් සේවය කරනවා.නිවෙස්වල මෙහෙකාර වෘත්තීන් සඳහාත් කාන්තාවන් S$550 ක මාසික වේතනයකට ඉන්දුනීසියාවෙන්,ශ්‍රී ලංකාවෙන්,ඉන්දියාවෙන් හෝ පිලිපීනයෙන් ඔවුන් ගෙන්වා ගන්නවා.මේ වෘත්තීන් වල යෙදෙන පිරිමි සහ කාන්තාවන් දිනකට පැය 10-12ක් පමණ වැඩ කර ආදායම වැඩි කරගැනීමට උත්සාහ ගන්නවා.බොහොමයක් දෙනා සතියට දින 6ක්ම වැඩ කිරීමට කැමතියි.පිලිපීන ගෘහ සේවිකාවන් 70,000 කට අධික ප්‍රමාණයක් සිංගපූරු නිවාසතුල රැකියා කරනවා.ගෘහ සේවිකාවන් මුලු ගණන 227,100 පමණ වනවා.

අන්තර්ජාතික පිළිගනීම
සිංගපූරු පොතට එහෙම නැත්නම් ගමන් බලපත්‍රයට හිමි වන්නේ ලෝකයේ ඉහළම තැනක්.ලෝකයේ වඩාත්ම පිළිගත් ගමන් බලපත්‍ර අතුරෙන් ඉදිරියෙන්ම ස්ථානයක ඉන්නට ඔවුනට පුළුවන් වෙලා තියෙනවා.ජපානය, එංගලන්තය,සියළු අසල්වැසි රටවල් වගේම සෑම සංවර්ධිත රටකටම පාහේ සිංගපූරු වැසියන්ට විසා ලබා ගැනීම අනවශ්‍යයි.
todayonline.com
සිංගපූරුවේ දුබලතා.

ඇති නැති පරතරය සිංගපූරුව තුල ඉහලයමින් පවතී.නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තරමක් දුරට අඩුයි.ඊට අමතරව සිංගපූරුව ඉදිරියට යාමට නම් එහි නායකත්වය ඉතාම බුද්ධිමත් කාර්යශුර නායකයකු යටතේ හැමවිටම පැවතිය යුතු බවට විද්වතුන් අදහස් දක්වනවා.එසේ නොමැතිනම් අසාර්ථක වීමේ හැකියාව ඉතාම වැඩි බවයි ඔවුන්ගේ අදහස.වත්මන් නායකයින් සමුගත් දිනක සිංගපූරුව ඉදිරියට ගෙනයාම සමහරවිට අභියෝගයක් වෙයි ද ? එය අනාගතයට අයිති ගැටළුවකි.මේ සාර්ථක දේශයට තව දුරටත් දියුණුව ප්‍රාර්ථනය කිරීමත් ඔවුන් සමග යහපත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගැනීමත් ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වේවි.

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්