කුණු බක්කියේ පිපුණු තායිලන්ත රෝස කුසුම


dailymail.co.uk

ඕනෑම කිරුළක් වැඩිපුරම ලස්සන මහ ‍පොළොවට එය කිට්ටු වුණ තරමට… ඒත් කිරුළු හිස පලඳන හුඟක් අය කැමැතිම මහ ‍පොළොවට හුඟක් උඩින් ජීවත් වෙන්න. හැබැයි මහ ‍පොළොව මත ජීවත්වන කිරුළු පලන් අයත් මේ ලෝකේ නැතිවාම නොවෙයි. මේ තායිලන්ත රූප සුන්දරියත් එවැන්නියක්.මිනිසකු මැනිය යුත්තේ ඔහු හෝ ඇය පැමිණි සමාජ පසුබිමෙන් නොවන බව අදහන මේ රුවැත්තියගේ නම කනිත්තා පේසන්. පසුගිය වසරක තායිලන්තයේ පැවැත් වුණු Miss Uncensored News Thailand තරගාවලියේ ජයග්‍රාහිකාව වුණේ ඇය.

dailymail.co.uk
රූප සුන්දරියක් කිරුළු පලන් හිස බිම ඔබා සිය වැදූ මව ඉදිරිපිට වැඳ වැටෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඒ තමයි ඇය. අපේ කතාවේ නායිකාව… කනිත්තා පේසන්. විශේෂත්වය වන්නේ ඇගේ මව තායිලන්තයේ කසළ ශෝධිකාවක වීම. රටේම රුවැත්තිය හැටියට කිරුළ හිස පැලඳුවත්, ඇය නගරයේ කසළ එකතුකරන මව ඉදිරිපිට වැඳවැටෙන්නට ලැජ්ජා වන්නේ නැහැ.රූ රැජිනක් හැටියට කිරුළ හිස පලඳින විට කනිත්තා පේසන්ගේ වයස අවුරුදු 17 යි. Daily Mail වබේ අඩවියට ඇය තමාගේ කතාව පෙළගස්වා තිබුණේ  මේ ආකාරයටයි.

“මගේ අතපය මේ තරම් සිනිඳු සහ මටසිලිටි වුණේ මගේ අම්මා නිසයි. මට සුවදායක ජීවිතයක් උදාකර දෙන්න වැඩ කළ නිසා අද වෙනකොට මගේ අම්මාගේ දෑත් රළු වෙලා. මම කුඩා කාලයේ සිටම ඇය කළේ නගරයේ කුණු එකතු කරන එක. මිනිස්සු කුණු බැහැර කරන්නේ හරිම අපිළිවෙළ විදියට. හැම වර්ගයකම කුණු එකම මල්ලක දාලා ගෙවල් ඉදිරිපිටින් ගොඩගහලා තියෙනකොට මගේ අම්මා ඒ කුණු මලු සියල්ලම අරගෙන එනවා. හිරිකිතක් නැතිව ‍පොලිතින්, කඩදාසි, වීදුරු, ආහාර ද්‍රව්‍ය අම්මා වෙන් වෙන් මලුවලට දානවා. මම ලැජ්ජා නැහැ මගේ අම්මාගේ රස්සාව ගැන කියන්න.මොකද මේ රට ලස්සනට තියන්නේ මගේ අම්මා වගේ අය නිසයි.”  ඈ පවසා තිබුණේ හැඟුම්බර විදියට.
ඇයට අතීතය හොඳහැටි මතකයි… “අවුරුදු 12 දී මට පාසල් ගමන නතර කරන්න සිද්ධ වුණා. ඒ පාසල් ‍පොත්පත්, ඇඳුම් සපත්තු, පාසල් ගාස්තු ආදිය තවදුරටත් ගෙවාගන්න මගේ අම්මට පුළුවන්කමක්  නොතිබුණු නිසා. මොකද තාත්තා අපි දාලා ගිහින් දැන් ටික කාලයක් වෙනවා. එදා පටන් අම්මා උපයන සොච්චම් මුදලෙන් තමයි අපි ජීවත් වුණේ.”
“තේරුමක් තිබුණු කාලයේ පටන්ම මමත්, අම්මාට උදව් කළා. අම්මා එකතු කරගෙන එන කුණු වර්ගීකරණය කරන්න මමත් හවුල් වුණා. තායිලන්ත රූ රැජින හැටියට කිරුළු පැලඳුවත්, තවදුරටත් අම්මාට උදව් කරන්න මගේ නම් අකැමැත්තක් නැහැ. ඒත් මම දැන් උදව්වට එනවාට අම්මා ටිකක්වත් කැමැති නැහැ….” අම්මලා කවුරුත් එහෙමය. ඒ නිසා කනිත්තා පේසන් දැන් වෙහෙස වෙන්නේ දැන්වීම්කරණය, රූපවාහිනී වැඩසටහන් ආදියට දායක වී මුදල් උපයා මවට සුවපහසු ජීවිතයක් උරුමකර දෙන්නටය.
“ඇත්තටම තායිලන්ත රූ රැජින තරගයට අයැදුම්පත්‍රය ඉදිරිපත් කරන්න කියලා මට ශක්තිය දුන්නෙත් මගේ අම්මා. තරගාවලිය තුළ වටයෙන් වටය මම ඉදිරියට ආවා. අවසානයේ ජයග්‍රාහිකාව හැටියට මගේ නම කිව්වම මට අදහාගන්න බැරිවුණා. ඒ මොහොතේ මට හිතුණේ මම වගේ සාමාන්‍ය කෙල්ලෙක් කොහොමද රූ රැජිනක් වෙන්නේ කියලයි.”
dailymail.co.uk
කනිත්තා පේසන් රූ රැජනක හැටියට කිරුළ දිනා ගැනීම ගැන නම් කිසිවකු තුළ මවිතයක් නැත. ඒ ඇය රෝස කුසුමක් වගේ සැබැවින්ම ලස්සන නිසාය. ඒත් රූ රැජිනකට මේ තරම්ම නිරහංකාර සහ නිහතමානී වෙන්නට පුළුවන්දැයි යන මවිතය නම් කාගේත් හිත් තුළ ඇත. තායිලන්ත රූ රැජින හැටියට කිරුළ දිනා ආපසු සිය පැල්පතට යන ගමනෙදී ඇගේ පසුපසින් ඩේලි මේල් මාධ්‍ය වාර්තාකරුවන් ඇගේ ගෙදරට ගියේ ඒ මවිතය හදවතේ තබාගෙනය.

dailymail.co.uk

තායිලන්ත රූ රැජින මේ වැඳවැටී ආචාර කරන්නේ දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් උහුලන ලෝකයේ සියලුම අම්මාවරුන්ටය. එවන් සියලුම තාත්තලාටය. ඒ වගේම ඇගේ ආමන්ත්‍රණය දෙමාපියන් විඳි දුක් ගැන සිතිවිල්ලක් වත් නැති ලෝ වටා සියලු දූ දරුවන්ටය.
සාවිත්‍රි විතානගේ
http://www.rivira.lk/online/2017/03/11/99063
http://www.dailymail.co.uk/news/peoplesdaily/article-3293212/Thailand-s-beauty-Miss-Uncensored-News-2015-thanks-mother-success-touching-way.html

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්